ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය අද
(04) අලුයම නිල වශයෙන් ආරම්භ වුණා.
පසුගිය පෙබරවාරි 28 වැනිදා එල්ල වූ එම ප්‍රහාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත් වුවද, එකල පැවති දැඩි යුද වාතාවරණය හේතුවෙන් ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව වහාම භූමදාන කටයුතු සිදු කිරීමට නොහැකි විය.
ඒ අනුව ඔහුගේ අභාවයෙන් මාස 4ක් ඉක්මවා ගිය පසු සිය ආධ්‍යාත්මික නායකයාට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව මේ වන විට ඉරාන ජනතාවට හිමිව තිබෙනවා.
ඉරාන ජාතික ධජයෙන් ආවරණය කරන ලද කමේනිගේ දේහය මේ වන විට ටෙහෙරාන් නුවර පිහිටි ග්‍රෑන්ඩ් මොසල්ලා ඉස්ලාම් දේවස්ථානයේ තැන්පත් කර තිබෙනවා.
තම නායකයාගේ වියෝවෙන් සංවේදී වූ දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් අලුයම සිටම දිගු පෝලිම්වල රැඳී සිටි අතර, යාඥා සංකීර්ණයේ දොරටු විවෘත කිරීමත් සමඟ ඔවුහු අවසන් ගෞරව දැක්වීම සඳහා කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම අවස්ථාවට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙශ්කියන් ඇතුළු ප්‍රධානීන් එක්ව සිටිනවා.
ආධ්‍යාත්මික නායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා රටවල් 100කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් සහභාගි වීමට නියමිතයි.
නගරයේ ආරක්ෂාව උපරිමයෙන් තර කර ඇති අතර, ගුවන් සීමාවන්ද තාවකාලිකව වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

