සමස්ත යුරෝපය පුරා වාර්තාගත අයුරින් ඉහළ යමින් පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇති වූ දේශගුණික බලපෑම් මත දින කිහිපයක් තුළ ප්‍රංශයේ පමණක් පුද්ගලයන් 40 දෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ.
ප්‍රංශයේ බහුතරයකට බලපාන පරිදි දැඩි උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එරට නිල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වන ආයතනය පවසයි.
ඒ අනුව ප්‍රංශයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාව අවට පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම, බටහිර ප්‍රංශයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 තරම් ඉහළ අගයක් දක්වා තවදුරටත් දැඩි විය හැකි බවද කාලගුණ අංශ විසින් වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.
මේ වන විට ප්‍රංශයේ ප්‍රදේශ රැසකට රතු නිවේදන ද නිකුත් කර තිබේ.
ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ඉතාලිය මෙම ඉහළ උෂ්ණත්වයෙන් දැඩිලෙස පීඩාවට පත් වූ රටවල් බවට පත්ව ඇත.
පවතින දැඩි උණුසුම නිසා සිරුර සිසිල් කර ගැනීම සඳහා බොහෝ පිරිස් අවදානම නොතකා ගංගා සහ ඇළ මාර්ගවල දිය නෑමට පෙළඹී සිටිති.
ජර්මනියේ ද බටහිර සහ නිරිතදිග ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර රයින් (Rhine) ගඟේ දිය නෑමට ගොස් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් ඇත.
ස්පාඤ්ඤයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, කෝර්ඩෝබා වැනි ග්‍රාමීය ප්‍රදේශවල එය සෙල්සියස් අංශක 44ක් දක්වා ඉහළ යා හැකි බව එරට කාලගුණ අංශ පවසයි.
ස්පාඤ්ඤයේ කාලගුණ සේවය පවසන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් ජුනි මාසයේ ඇතිවන උෂ්ණත්ව රළ වඩාත් බහුල වෙමින් පවතින බවය.
මෙම දැඩි උෂ්ණත්වය සිකුරාදා වන විට නෙදර්ලන්තය, බෙල්ජියම සහ ජර්මනිය දෙසට ගමන් කරනු ඇති බව සඳහන් වේ.

