ජාතික ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූල නොවන ලුණු නිෂ්පාදනය කර බෙදාහැරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් සුපිරි වෙළඳසැල් ජාලයකට සහ නිෂ්පාදන සමාගමකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 200,000ක මුදලක් දඩ වශයෙන් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) ප්‍රකාශ කළ බව NewsWire වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
SLSI 80:2019 ජාතික ප්‍රමිතියට අනුකූල නොවන ලුණු වෙළඳපොළට නිකුත් කර පාරිභෝගිකයන් නොමඟ හැරීමේ වරදට අදාළ සමාගම් දෙක වැරදිකරුවන් කරමින්, 2026 ජූනි 17 වනදා අධිකරණය විසින් එක් සමාගමකට රුපියල් 100,000 බැගින් මෙම දඩය නියම කර තිබුණා.
NewsWire වෙබ් අඩවියේ වාර්තාවට අනුව, ලුණු කුඩු (powdered table salt) නිෂ්පාදනයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ පිහිටි සුපිරි වෙළඳසැල් ශාඛාවකින් ලුණු සාම්පල ලබාගෙන තිබෙනවා.
එම සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව, අදාළ නිෂ්පාදනය නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන බව තහවුරු වී ඇති බවත්, පාරිභෝගිකයන් නොමඟ හැරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 30 සහ 31 වගන්ති ප්‍රකාරව නිෂ්පාදකයාට සහ බෙදාහරින්නාට එරෙහිව නඩු පවරා ඇති බවත් එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් සහ නිෂ්පාදකයන් පිළිබඳව තොරතුරු පවතී නම්, කාර්යාල වේලාවන් තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 ක්ෂණික ඇමතුම් අංකය අමතා දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

