ආනයන ගෙවීම් සම්බන්ධයෙන් අද දින (19) සිට ක්‍රියාත්මක වන පරිදි නව පාලන රෙගුලාසි පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින්ය.
නව රෙගුලාසි යටතේ, ආනයන ගනුදෙනු වෙනුවෙන් සිදු කරන සෑම ගෙවීමකටම, බැංකු මගින් විශේෂ ගනුදෙනු අංකයක් ලබා දිය යුතුයි.
එම ගනුදෙනු සම්බන්ධ සියලු තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත දැනුම් දීමද අනිවාර්ය කර තිබේ.
ඒ අනුව ආනයනකරුගේ ටින් අංකය, ලිපිනය, ප්‍රතිලාභියාගේ තොරතුරු, බැංකු හා ශාඛා කේත, ගෙවීම් මුදල, මුදල් ඒකකය, ගෙවීම් සහ භාරදීමේ කොන්දේසි, ගෙවීම් දිනය, Proforma Invoice අංකය සහ ආනයනය කරන භාණ්ඩ විස්තර ඇතුලු තොරතුරු, බැංකු මඟින් රේගුවට ලබා දිය යුතුයි.
භාණ්ඩ ආනයනය සඳහා අත්තිකාරම් ගෙවීම සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ සුදුසුකම් ලත් ආනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීම තිබීමද, මේ යටතේ අනිවාර්ය කර තිබේ.
ලියාපදිංචිය නොමැති ආනයනකරුවන්ට වාණිජ බැංකුවලට අත්තිකාරම් ගෙවීම සදහා අවසර හිමි නොවේ.
එලෙස නව රෙගුලාසි හඳුන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවෙන් සිදු කෙරෙන ආනයන සම්බන්ධ විදේශ මුදල් ගෙවීම් වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීමේ අරමුණින්ය.

