හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස සහ විශේෂ ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස එකවර වැටුප් 02ක් ලෙස රුපියල් හැට එක් ලක්ෂ පනස් නව දහස් නවසිය හතළිස් නවයක (රු.6,159,949) රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සුගීෂ්වර බණ්ඩාර මහතා අත්අඩංගුවට ගෙන ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසු 2022 ජූලි 14 සිට 2024 පෙබරවාරි 21 දක්වා ඔහු රුපියල් 1,933,065ක මුදලක් දීමනා ලෙස ලබාගෙන තිබේ. එම කාලය තුළදීම, එනම් 2022 ජූලි 25 සිට 2024 සැප්තැම්බර් 22 දක්වා විශේෂ ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඔහු වැටුප් සහ දීමනා වශයෙන් රුපියල් 4,226,884ක මුදලක් ලබාගෙන ඇත.
එසේම ඔහු ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නිලධාරීන් 135 දෙනකු අනුයුක්ත කරගැනීමට ද කටයුතු කර ඇති අතර, එම කාර්යමණ්ඩලය සඳහා වැටුප් සහ දීමනා ලෙස රුපියල් 170,692,607ක මුදලක් ලබාදී තිබේ. WP CAC – 44… අංක දරන අවුඩි වර්ගයේ මෝටර් රථයේ නඩත්තු වියදම් වෙනුවෙන් මේ කාලයේදී රුපියල් 905,953ක වියදමක්ද ඔහු වෙනුවෙන් දරා ඇත.
සුගීෂ්වර බණ්ඩාර මහතා 2022 සිට 2024 දක්වා අවස්ථා 08කදී නිසි අනුමැතියක් ලබානොගෙන විදේශගත වී ඇති අතර, මේ විදේශගතවීම් සඳහා නිවාඩු අනුමත කර නොගෙන වුවද, එම කාලයට අදාළ වැටුප් සහ දීමනා සියල්ල ලබාගෙන ඇත. ඔහු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ විශේෂ ව්‍යාපෘති අංශයට වාහන 16ක් වෙන් කර ඇති අතර, ඒ අතරින් වාහන 09ක් නිලධාරීන්ටද, ඉතිරි වාහන 09 සංචිතයටද අනුයුක්ත කර තිබේ. මෙසේ සංචිතයට වෙන් කළ වාහන සඳහා සතියකට රුපියල් 165,000 සිට රුපියල් 265,000 දක්වා වටිනාකමකින් යුත් ඉන්ධන කූපන්පත් ලබාදී තිබේ. මෙසේ ලබාදී තිබූ රුපියල් 18,680,000ක් වටිනා ඉන්ධන කූපන්පත් එම කාර්යාලයේ කටයුතුවලට භාවිත වූයේද යන්න සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී නැත.
මේ විශේෂ ව්‍යාපෘති අංශයට අදාළ 2023 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් වන ආකාරයට එහි එක් කාර්යයක් වන්නේ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්, එම පෙරමුණේ සංවිධායකවරුන්, එම පෙරමුණට අනුබද්ධ සංවිධානවල සාමාජිකයන් සහ වෘත්තීය සමිති සාමාජිකයන් සම්බන්ධීකරණයයි. ඒ අනුව මේ කාර්යාලයට අනුයුක්ත කර තිබූ 137ක කාර්ය මණ්ඩලය මේ කටයුතු සඳහා යොදාගෙන ඇති බවත්, ඒ සඳහා රුපියල් 240,976,291ක මුදලක් වැය කර ඇති බවත් අනාවරණය වී තිබේ. මේ සියල්ල රාජ්‍ය මුදල් අයථා පරිහරණය කිරීම්ය.
– dinamina

