ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ නිෂ්පාදන ගබඩාකර තබා ගැනීම සඳහා වර්ග මීටර 2000ක නොමිලේ ගබඩාගාර පහසුකම් සැපයීමට චීනයේ කුන්මින් නගරයේ අවස්ථාව හිමිව තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා
සහ කුන්මින් නගරයේ ආණ්ඩුකාරවරයා අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව හිමිව ඇත.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 10වැනි චීන – දකුණු ආසියානු වෙළෙඳ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ඉකුත් බ්‍රහස්පතින්දා (11) එක්වෙමිනි.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවට ලැබෙන මෙම ගබඩා පහසුකම ඔස්සේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සදහා කුන්මින් වෙළෙඳපල තුළ විශාල වෙළෙඳ සබඳතා ජාලයක් ගොඩනඟා ගත හැකි බවයි.
එසේම චීන – දකුණු ආසියානු වෙළෙඳ ප්‍රදර්ශනය ඔස්සේ ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට සහ නිෂ්පාදකයින්ට නව වෙළෙඳපලවල් සහ ගැණුම්කරුවන් සොයා ගැනීමේ අවස්ථාවද ලැබී ඇති බවත් රජයක් ලෙස ඒ වෙනුවෙන් සියලු පහසුකම් සපයන බවද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාද එක්විය.
10 වන චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනය සහ 30 වන චීන කුන්මින් ආනයන සහ අපනයන ප්‍රදර්ශනය බ්‍රහස්පතින්දා (11) ආරම්භ විය. එය ලබන 16වැනිදා දක්වා චීනයේ, කුන්මින් නුවර ඩියැන්චි ජාත්‍යන්තර සම්මේලන හා ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත දකුණු ආසියානු කලාපයටම ඉතා වැදගත් ආර්ථික සන්ධිස්ථානයක් වන මෙම ප්‍රදර්ශනය, චීනය සහ දකුණු ආසියානු රටවල් අතර වෙළෙඳ, ආයෝජන සහ කාර්මික සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස සැලකේ.

