පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ සිදුවන විමර්ශන කිසිදු හේතුවක් මත නැවැත්වීම නොකළ යුතු බව මෙරට කතෝලික සභාව පවසයි.
කොළඹ අගරදගුරු මැදුරේ අද (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන් කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය කීර්ති නාමයට හානියක් සිදුකළ බවට තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව සමතයකට පත්වීම සඳහා ඔහු විසින්ම ඉල්ලීමක් කළද, තමන් ඊට එකඟ නොවූ බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන්,
”සමාජ මාධ්‍ය ඔස්සේ කියවෙන්න පටන් අරන් තියෙනවා සමහර අය. සිරිල් ගාමිණී පියතුමාට විරුද්ධව සුරේෂ් සලේ මහත්මයා අපහාස නඩුවක් ගොනු කරලා තියෙනවා. වන්දි ඉල්ලලා තියෙනවා. ඒ අපහාස නඩුව දැන් ඇහෙමින් පවතිනවා. මේකේ වන්දිය ගෙවන එක නවත්තගන්න මේ නඩුව අඩාල කරන්න, කඩාකප්පල් කරන්න තමයි මේ සලේ මහත්මයාව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ කියලා. මේ අත්අඩංගුවට අරගෙන තියෙන්නේ විමර්ශනවලින් හෙළිදරව් වෙච්ච සාක්ෂි පදනම් කරගෙන. මට තව කරුණක් කියන්න ඕනේ. මේ පළවෙනි වතාවට මං මේ කරුණ කියන්නේ. අපහාස නඩුව තියෙන එක ඇත්ත. මේ නඩුවේ පළවෙනි දවසේ නඩු කටයුත්ත හමාර වුණාට පස්සේ සුරේෂ් සලේ මහත්මයා උසාවිය ඇතුලෙදිම ඇවිල්ලා මාව හම්බුණා. ඔහු මට කිව්වා ෆාදර් ෆාදර්ව අපහසුතාවයට පත් කරන්න නෙමෙයි මං මේ නඩුව දැම්මේ මගේ නම ආරක්ෂා කරන්න ඕන නිසා කියලා.. අපිට සමතයකට පත්වෙන්න පුළුවන් කියලා..
එතකොට එතන පියතුමෙක් හිටියා මාත් එක්ක. මා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහත්මයා ඇතුළු නීතීඥ කණ්ඩායමත් එතන හිටියා. මම එතුමාගෙන් ඇහුවා සමථයකට පත්වෙන්න මොකක්ද ඔයාගේ කොන්දේසි කියලා.. එතකොට ඒ මහත්මයා කිව්වා ෆාදර් කරලා තියෙන ප්‍රකාශයෙන් මගේ නම ඉවත් කරගන්න කියලා. එතකොට මම ඔහුට කිව්වා මම ඒ ප්‍රකාශය කරලානේ තියෙන්නේ ඔබේ නමත් එක්ක.. එතකොට මට ඒක ඉවත් කරගන්න අවශ්‍ය නැහැ. මම ඒක ඉවත් කරගන්නෙත් නැහැ. අදත් මම විශ්වාස කරනවා මම කරපු ප්‍රකාශය හරියි කියලා. මම කිව්වා මේ නඩුව සමථයකට පත් වෙන්න අවශ්‍ය නැහැ. අපි මේ නඩුව කරගෙන යන්. අත්අඩංගුවට ගැනීම සහ විමර්ශන සිදුවීම ඒක වෙනම දෙයක්… වන්දි නඩුව වෙනම දෙයක් කියලා.. ප්‍රශ්නයක් තිබුණා මේ බෝම්බකරුවන් පිටුපස කුමන්ත්‍රණයක් තිබුණාය කියන එක.. එතකොට මේක දේශපාලන කුමන්ත්‍රණයක් ද? මේකේ සැලසුම්කරුවෝ කවුද? ඒක සොයා ගැනීම, ඒක වින්දිතයන්ගේ අයිතියක්. මේ විමර්ශනවලට කිසිම විදියකින් කිසිම දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයන් හෝ මේ විමර්ශනවලට ඇඟිලි ගහන්න ඕනේ නැහැ. කිසිම දේකින් මේ විමර්ශන නවතින්න බැහැ.”

