කොළඹ, මහනුවර, ගාල්ල ජාතික රෝහල්වල අධ්‍යක්ෂ තනතුරු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 9ක් පිරවීම අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම පෙත්සම්කරුවන් විසින්ම ඉකුත් බදාදා (03) ඉල්ලා අස් කරගනු ලැබීය.
කොළඹ, මහනුවර, ගාල්ල ජාතික රෝහල් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන රැසක දීර්ඝ කාලයක් පුරප්පාඩුව පැවති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු පිරවීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අයදුම්පත් කැඳවා තිබිණි. පසුගිය මැයි 13, 14 දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වා අදාළ තනතුරු පුරප්පාඩු පිරවීමට කටයුතු යොදා තිබුණද, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් හේතුවෙන් අදාළ පුරප්පාඩු පිරවීමේ කටයුතු මේ දක්වාම සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබී නොතිබිණි.
වසර 7 – 8ක් වැනි දීර්ඝ කාලයක් පුරා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු පුරප්පාඩුව පැවතීම හේතුවෙන් රෝහල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන හා කළමනාකරණ කටයුතු සඳහාද එය දැඩි බලපෑමක් විය. වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු හා වෛද්‍ය පූර්ණිමා සමන්තිකා නවරත්න යන අය විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ සෞඛ්‍ය සේවා කමිටුව ඇතුළු වගඋත්තරකරුවන් 16 දෙනකුට එරෙහිව මූලික අයිතිවාසිකම් අංක 55/26 යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
එම පෙත්සම අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.එම්.ජී.එච්. කුලතුංග යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ (03) කැදවන ලදි. එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් මෙම නඩුවට අදාළව පසුගිය මැයි 27වැනි දින ගොනු කරන ලද දිවුරුම් ප්‍රකාශයේ ඇතුළත් කරුණු සැලකිල්ලට ගෙන පෙත්සම්කරුවන් විසින් නඩුව ඉල්ලා අස්කරගනු ලැබීය.
පෙත්සම්කරුවන් විසින් අදාළ පෙත්සම ඉල්ලා අස්කරගැනීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරගැනීමේ අවස්ථාව මේ අනුව උදා වී ඇත. මෙම නඩුවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරිල් පුල්ලේ මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා බාලපටබැඳි මහත්මියද පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ඥානරාජ් මහතාද පෙනී සිටින ලදි.

