Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඥානසාර හිමි වරද පිළිගන්න සූදානම් බව දැනුම් දෙයි

ඥානසාර හිමි වරද පිළිගන්න සූදානම් බව දැනුම් දෙයි

ඥානසාර හිමි වරද පිළිගන්න සූදානම් බව දැනුම් දෙයි

කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් ඇතුළු වී ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාවට ලක්ව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, තමන් අදාළ වරද පිළිගනිමින් මෙම නඩු කටයුත්ත කෙටි ක්‍රමවේදයකින් අවසන් කර ගැනීමට සූදානම් බව විත්තියේ නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ සඳුදා (01) කැඳවනු ලැබිය.

එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සිරාස් මොහොමඩ් මහතා අධිකරණයට ප්‍රකාශ කළේ තමන් වෙත ලැබී ඇත්තේ සීමිත උපදෙස් ප්‍රමාණයක් බැවින්, පිළිගැනීම් ලේඛනයක් ඉදිරිපත් කිරීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බවයි.

මේ හේතුවෙන් අධිකරණය විසින් විත්තිය සහ පැමිණිලි පාර්ශ්වයට පමණක් අදාළ වන පරිදි පූර්ව නඩු විභාගයේ කරුණු විමසීමට පියවර ගනු ලැබුවා.

ඉන් අනතුරුව විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය මහතා, නඩුව දීර්ඝ ලෙස විභාග නොකර කෙටි ක්‍රමයකින් අවසන් කිරීමට ඇති හැකියාව පිළිබඳව සලකා බලන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වය වන නීතිපතිවරයාගේ ස්ථාවරය කුමක්දැයි දැනුම් දීම සඳහා මහාධිකරණ විනිසුරුවරයා නඩුව එළඹෙන ජුනි මස 26 වැනිදා යළි කැඳවීමට නියෝග කරනු ලැබුවා.

වටරැක විජිත හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් ආගමික පූජකවරුන් නියෝජනය කරන ජාතික බල සේනා සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදී, ඉස්ලාම් ආගමට සහ එහි ආගමික විශ්වාසයන්ට නින්දා අපහාස කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 219 (ආ) වගන්තිය ප්‍රකාරව ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

පසුගිය 2014 වසරේ අප්‍රේල් මස 12 වැනිදා මෙම සිද්ධිය සිදුව තිබූ අතර, ඊට අදාළව නීතිපති උපදෙස් ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් නඩු පැවරීමේ කටයුතු මෙතෙක් කල් ඇදී ගොස් තිබුණා.

මෙම නඩුවේ ප්‍රධාන පැමිණිලිකරු මෙන්ම පළමු සාක්ෂිකරු වන්නේ කොම්පඤ්ඤවීදියේ පදිංචි නූර්ඩීන් මොහොමඩ් තාජුඩීන් නැමැති අයෙක් වන අතර, නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහුද අධිකරණයේ පෙනී සිටියි.

මෙම නඩු විභාගය සඳහා සිද්ධිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් පටිගත කරන ලද වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි මොරටුව විශ්වවිද්‍යාලය මඟින් නිකුත් කළ වෝහාරික වාර්තාවක් මෙන්ම මුස්ලිම් සමය හා ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් 2014 වසරේදී නිකුත් කරන ලද ලිපියක්ද නඩු භාණ්ඩ ලෙස නම් කර තිබේ.

Exit mobile version