දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් බවට සැක සහිත රෝගීන් 237 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
මෙම රෝගී තත්ත්වය මුලින්ම අප්‍රේල් 15 වැනිදා මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර, පසුව රිකිල්ලගස්කඩ, මහනුවර, බදුල්ල, වැලිමඩ සහ දියතලාව යන ප්‍රදේශවලින් ද රෝගීන් වාර්තා වූ බවයි ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළේ.
වාර්තා වී ඇති රෝගීන් අතර බහුතරය පාසල් දරුවන් වන බවත්, ඉකුත් ඉරිදා (31) පස්වරුව වන විට රෝගීන් 59 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බවත්, අනෙක් සියලු දෙනා සුවය ලබා නිවෙස් බලා ගොස් ඇති බවත් ඇය ප්‍රකාශ කළා.
උණ, හිසරදය සහ වමනය මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, මෙම වෛරස් මෙනින්ජයිටීස් රෝගය බොහෝ විට දින කිහිපයක් ඇතුළත සුව වන බවද ඇය සඳහන් කළා.
දරුවන්ගේ ආහාර එකිනෙකා අතර හුවමාරු නොකරන ලෙසත්, සෑම විටම පිරිසිදු මෙන්ම උණු කර නිවාගත් ජලය භාවිත කරන ලෙසත් උපදෙස් ලබා දෙන බවයි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

