ප්‍රතිසංස්කරණය කරන ලද ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) “ස්නායු රෝග විද්‍යා ආයතනය” (Institute of Neurology) ඊයේ (ජුනි 01) පෙරවරුවේ ජනතා අයිතියට පත් කරන ලදී.
මෙයට සමගාමීව, මෙම ආයතනයේ නිර්මාතෘ දේශමාන්‍ය විද්‍යා ජෝති විශේෂඥ වෛද්‍ය ඡේ.බී. පීරිස් මහතාගේ ඡායාරූපය නිරාවරණය කෙරුණු අතර, අලුතින්ම ප්‍රතිසංස්කරණය කළ අංක 62/63 වාට්ටු සංකීර්ණයද විවෘත කරමින් එහි ප්‍රථම රෝගියා ලියාපදිංචි කිරීමද සිදු විය.
මෙම සමස්ත නවීකරණ ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ සැලසුම් සහගතව ක්‍රියාවට නැංවිණි.
පළමුවැනි මහලේ පිහිටි රෝගී ඇඳන් 22 බැගින් වන කාන්තා හා පිරිමි 62/63 වාට්ටු සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2025 ජනවාරි මස ආරම්භ කර රුපියල් මිලියන 50ක පිරිවැයකින් 2026 අප්‍රේල් මාසයේදී වැඩ නිමකරන ලදි. රුපියල් මිලියන 20ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ බිම් මහලේ භෞත චිකිත්සක ඒකකයේ වැඩ කටයුතු 2026 වසරේදී ආරම්භ කර මේ වනවිටත් සාර්ථකව සිදුකරමින් පවතී. තෙවෙනි මහලේ පිහිටි භාෂා, වෘත්තීය චිකිත්සක ඒකක සහ ශ්‍රවණාගාරය 2023 දෙසැම්බර් මස වැඩ ආරම්භ කර තිබූ අතර රුපියල් මිලියන 24ක පිරිවැයකින් 2025 වසරේදී සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරන ලදී.
මොළය, සුෂුම්නාව, ස්නායු සහ පේශි පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයන් වෙනුවෙන් මෙතෙක් කලක් වසර සියයකට වඩා පැරණි ගොඩනැගිල්ලක, එනම් 16 වාට්ටුවේ පවත්වාගෙන ගිය ස්නායු ඒකක 3 සහ 4 මින් ඉදිරියට මෙම නවීන පහසුකම් සහිත නව වාට්ටු සංකීර්ණය තුළ ක්‍රියාත්මක වේ. මෙමඟින් රෝහල් කාර්ය මණ්ඩලයට මෙන්ම ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගී ජනතාවට තදබදයකින් තොර වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

