Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

5වැනි, 6 වැනි සමාලෝචන සාර්ථකව අවසන්; IMF අරමුදලෙන් ඩො. මි 695ක්

5වැනි, 6 වැනි සමාලෝචන සාර්ථකව අවසන්; IMF අරමුදලෙන් ඩො. මි 695ක්

5වැනි, 6 වැනි සමාලෝචන සාර්ථකව අවසන්; IMF අරමුදලෙන් ඩො. මි 695ක්

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවත්වන ලද පස්වැනි සහ හයවැනි සමාලෝචන සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් නිදහස් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මෙම පස්වැනි හා හයවැනි සමාලෝචනය අනුමත කිරීමට එහි විධායක මණ්ඩලය ඉකුත් බදාදා (27) රැස්ව තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ පස්වැනි හා හයවැනි ඒකාබද්ධ සමාලෝචන සාර්ථකව අවසන් කර ඇත. ඒ අනුව, විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 695ක පමණ මුදලක් ලබා ගැනීමට අවස්ථාව හිමි වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

මෙම වාරිකයත් සමඟ, විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ගෙන ඇති මුළු මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ යයි. 2023 මාර්තු මස අනුමත කරන ලද මෙම වසර හතරක ණය පහසුකමෙහි සමස්ත වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වේ.

මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, රාජ්‍ය මූල්‍ය හා ණය තිරසරත්වය තහවුරු කිරීම, අවදානමට ලක් විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සහ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය රැකගැනීම වන අතර ඊට අමතරව, පාලනය ශක්තිමත් කිරීම, දූෂණ අවදානම් අවම කිරීම සහ වර්ධනය ඉලක්ක කරගත් ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ සඳහාද මෙහිදී ප්‍රමුඛතාව හිමි වන බවද එම අරමුදල පෙන්වාදෙයි.

කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින යුද තත්ත්වය සහ

‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ගමනට අභියෝග එල්ල වී ඇත. නමුත් අභියෝගාත්මක තත්ත්වය මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව විස්තීර්ණ අරමුදල් පහසුකමේ විධිවිධාන ශක්තිමත්ව ක්‍රියාත්මක කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ප්‍රකාශ කරයි.

2026 වසරේ ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තෙල් මිල ඉහළ යෑම හා සංචාරක ක්ෂේත්‍රයේ ආදායම් අඩුවීම උද්ධමනය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කළ හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි.

අභියෝගාත්මක තත්ත්ව මධ්‍යයේ වුව ද, ශ්‍රී ලංකාව වැඩසටහන ශක්තිමත්ව ක්‍රියාවට නංවා ඇති බවත්, සුළි කුණාටු තත්ත්වයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් සහන පැකේජ ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇති බවත් සඳහන් කර තිබේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සහ බදු ක්‍රමයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අඛණ්ඩ උත්සාහයන් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.

ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් අදියරට පැමිණ ඇතත්, ණය තිරසරත්වය සම්බන්ධයෙන් තවදුරටත් අවදානම් පවතින බව ද එම අරමුදල කියා සිටී. මූල්‍ය ප්‍රතිපත්තියෙන් මිල ස්ථාවරත්වය පවත්වා ගැනීමට ප්‍රමුඛතාව දිය යුතු අතර, ආයෝජන පරිසරය වැඩිදියුණු කිරීමට ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ සහ පොදු යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිගමනයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්යසාධනය පොදුවේ ශක්තිමත් මට්ටමක පැවතිණි. ඉන්ධන හා විදුලි පිරිවැය පියවා ගැනීමේ මිලකරණය සම්බන්ධ පූර්ව කොන්දේසි සපුරා තිබුණි. 2025 වසරේ දෙසැම්බර් අග වන විට සපුරා ගත යුතු සියලුම ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක සපුරා ඇත. කෙසේ වෙතත්, නව බාහිර ගෙවීම් හිඟ ඇති නොකිරීම හා ආනයන සීමා පැනවීම සම්බන්ධ ඇතැම් අඛණ්ඩ කාර්යසාධන නිර්ණායක සපුරා ගැනීමට නොහැකි වී ඇත.

බොහෝ ව්‍යූහාත්මක ඉලක්ක (structural benchmarks) සපුරා ඇති අතර ඇතැම් ඒවා ප්‍රමුඛ කාලසීමා ඉක්මවා ක්‍රියාත්මක කර ඇත. මැදපෙරදිග පවතින යුද තත්ත්වය සහ ‘Ditwah’ සුළි කුණාටුව ආර්ථිකයට යම් අවදානමක් එල්ල කළ හැකි වුවද, ශ්‍රී ලංකා ආර්ථිකය ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්තව පවතිනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරයි. මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන හරහා ලබා ගෙන ඇති ජයග්‍රහණ හේතුවෙන්, ආර්ථිකයට සහය වීමට සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් ආරක්ෂා කිරීමට අවශ්‍ය වේගවත් ප්‍රතිපත්තිමය පියවර ගැනීමට හැකියාව ලැබී තිබේ.

Exit mobile version