රජයේ ඒකාබද්ධ සේවාවන්ට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු විවිධ හේතූන් මත ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අදාළ නිලධාරීන් විසින් සිදුකර ඇති විමසීම් සැලකිල්ලට ගනිමින් මෙම උපදෙස් හා මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සඳහන් වෙයි.
සංයුක්ත සේවාවන්ට අයත් නිලධාරීන්ගේ වාර්ෂික මාරුකිරීම් තීරණ කිසිදු ප්‍රමාදයකින් තොරව දැඩි ලෙස ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මාරුකිරීම් තීරණයක් අවසන් කළ පසු එය රඳවා තබා ගැනීමට, සංශෝධනය කිරීමට හෝ කල් දැමීමට කිසිදු බලධාරියකුට බලයක් නොමැති බව එහි අවධාරණය කර ඇත.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව, සංයුක්ත සේවා අධ්‍යක්ෂ ජනරාල් එන්.යූ. නිශාන් මෙන්ඩිස් විසින් මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබේ.
විවිධ හේතූන් මත වාර්ෂික මාරුකිරීම් ක්‍රියාත්මක නොවන බවට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ නිලධාරීන්ගෙන් ලැබුණු පැමිණිලි රැසක් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත.
මෙම චක්‍රලේඛයට අනුව, වාර්ෂික මාරුකිරීම් ක්‍රියාවලිය සිදුවන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව අනුමත කළ ක්‍රියාපටිපාටියට අනුකූලවය.
එමඟින් නිලධාරීන්ට විවිධ ආයතනවල සේවය කිරීමට අවස්ථාව ලැබෙන අතර සේවා අවශ්‍යතා සපිරීම සහ සේවක අභිප්‍රේරණය ඉහළ නැංවීම ද අපේක්ෂා කෙරේ.
කෙසේ වුවද, මාරුකිරීම් අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී නිලධාරීන්ගේ වත්මන් සහ පෙර සේවා ස්ථාන පිළිබඳ වැරදි තොරතුරු සැපයීම, මාරුවීම් අවශ්‍ය ස්ථාන වැරදියට තෝරා ගැනීම, ප්‍රසූත නිවාඩු හෝ වැටුප් රහිත නිවාඩු මත සිටින නිලධාරීන් පිළිබඳ වාර්තා නොකිරීම වැනි අඩුපාඩු රැසක් සිදුවන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙමඟින් ආයතන කිහිපයකම කාර්ය මණ්ඩල විධිවිධානවලට බාධා එල්ල වී ඇත.
ඒ අනුව ප්‍රකාශිත චක්‍රලේඛය මඟින් අවධාරණය කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ.
මාරුවීම් තීරණ පිළිබඳ සෑහීමකට පත් නොවන නිලධාරීන් නියමිත Online ක්‍රමවේදය ඔස්සේ අදාළ සමාලෝචන කමිටු වෙත අභියාචනා ඉදිරිපත් කළ යුතුය.
ඉන්පසුවද සෑහීමකට පත් නොවන්නේ නම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවටද, ඉන් අනතුරුව 2002 අංක 04 දරන පරිපාලන අභියාචනා මණ්ඩල පනත යටතේ පරිපාලන අභියාචනා මණ්ඩලයටද අභියාචනා කළ හැකිය.
අභියාචනා සලකා බලන අතරතුර වුවද මාරුවීම් නියෝග ක්‍රියාත්මක කළ යුතුය.
ආයතන ප්‍රධානීන්ට හෝ වෙනත් කිසිදු බලධාරියකුට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු බලතල යටතේ ගත් තීරණ අත්හිටුවීමට හෝ ප්‍රමාද කිරීමට බලයක් නැත.
වාර්ෂික මාරුවීම් නියමිත දිනටම ක්‍රියාත්මක විය යුතු අතර, වෙනත් නිලධාරියෙකු පැමිණෙන තෙක් ප්‍රමාද කිරීම් වලංගු හේතුවක් ලෙස පිළිගනු නොලැබේ.
සිය ආයතන ප්‍රධානීන් දැනුවත් නොකර සෘජුවම අභියාචනා ඉදිරිපත් කරන නිලධාරීන්ට එරෙහිව රාජ්‍ය පරිපාලන රෙගුලාසි යටතේ විනය පියවර ගත හැකිය.
එමෙන්ම, බාහිර පාර්ශ්වයන් හරහා බලපෑම් කිරීමට උත්සාහ කිරීම විෂමාචාරයක් ලෙස සලකා විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇත.
රාජ්‍ය සේවයේ නීතිමය සහ පරිපාලන ප්‍රමිතීන්ට අනුකූලව මෙම වාර්ෂික මාරුකිරීම් ක්‍රියාවලිය සිදුවන බව සහතික කිරීම සඳහා චක්‍රලේඛයේ විධිවිධාන සම්පූර්ණයෙන්ම පිළිපදින ලෙස අමාත්‍යාංශය සියලුම ආයතන ප්‍රධානීන් සහ සංයුක්ත සේවා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

