හිටපු වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සහ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පිරිසකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) තීන්දු කර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් විශාල පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් කේ.බී. විජයරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ එකඟතාවයෙන් යුතුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ප්‍රධානතම හේතුව වූයේ 2020 ජනවාරි මාසයේදී එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත් වූ වහාම ක්‍රියාත්මක කළ නීතිවිරෝධී උසස්වීම් මාලාවකි.
එවකට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජාතික පොලිස් කොමිෂන් සභාව එක්ව 2020 ජනවාරි 27 වැනිදා අංක 1059 දරන පොලිස් විශේෂ පණිවිඩය නිකුත් කරමින්, නිලධාරීන් තිදෙනෙකුගේ උසස්වීම් වසර ගණනාවක් ආපස්සට (පෙරදාතම කර) ලබා දීමට පියවර ගෙන තිබුණා.
එවකට ත්‍රස්තවාදය වැළැක්වීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ (දැනට විශ්‍රාමික) ප්‍රසන්න අල්විස් මහතා, කොළඹ දකුණ කොට්ඨාසය භාර පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා, එවකට කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා එලෙස නීතිවිරෝධී ලෙස උසස්වීම් ලබා දුන් තිදෙනා වනවා.
ඔවුන් තිදෙනාගේ 2013 වසරේ ලැබූ සහකාර පොලිස් අධිකාරී තනතුර 2008 වසර දක්වාද, පොලිස් අධිකාරී තනතුර 2014 දක්වාද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර 2018 දක්වාද ආපස්සට බලපැවැත්වෙන පරිදි පෙරදාතම කර, ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඉහළින්ම ස්ථානගත කිරීමට වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබුණා.
ජාතික පොලිස් කොමිෂන් සභාව අධිකරණය හමුවේ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් කියා සිටියේ, මීට පෙර ගොනු කර තිබූ SC/FR 125/2009 නඩු තීන්දුවට අනුව මෙම උසස්වීම් ලබා දුන් බවයි.
කෙසේ වෙතත්, එම නඩු තීන්දුවේ කිසිදු තැනක මෙම නිලධාරීන්ට ආපස්සට බලපැවැත්වෙන පරිදි උසස්වීම් දෙන ලෙස නියෝග කර නොමැති බවට වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණය එම පැරණි නඩු වාර්තා කැඳවා පරීක්ෂා කිරීමේදී හෙළි වී තිබෙනවා.
එහි සටහන්ව තිබුණේ ඔවුන් 2014 දී උසස් කර ඇති බැවින් නඩු කටයුත්ත අවසන් කරන බව පමණයි.
එමඟින් පැහැදිලි වූයේ හිටපු පොලිස්පතිවරයා සහ පොලිස් කොමිසම දේශපාලන උවමනාවන් මත අසත්‍ය කරුණු දක්වමින් මෙම නීතිවිරෝධී උසස්වීම් ලබා දී ඇති බවයි.
මෙම හොර උසස්වීම් මාලාවේ ප්‍රධානතම දේශපාලන අවශ්‍යතාව වී තිබුණේ ප්‍රසන්න අල්විස් නමැති නිලධාරියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට පත් කර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමයි.
2019 නොවැම්බර් මාසයේදී රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණි වහාම, විමර්ශන නිලධාරියකු වූ ශානි අභේසේකර මහතාව කිසිදු විභාගයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පෞද්ගලික සහකාර ලෙස පත් කරනු ලැබුවා.
ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවීම සඳහා ප්‍රසන්න අල්විස්ව මෙම හොර උසස්වීම් හරහා සුදුසුකම් සපුරා ගන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත් කරනු ලැබුවා.
කෙසේවෙතත් සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජාතික පොලිස් කොමිසම විසින් ගනු ලැබූ එම නීතිවිරෝධී නියෝග සහ පෙරදාතම කිරීම් සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට නියෝග කළා.
එඑමෙන්ම කිසිදු සාධාරණ හේතුවක් හෝ සඳහන් නොකර මෙලෙස ආපස්සට උසස්වීම් දීමෙන් අනෙකුත් නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත්, එමඟින් පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් තීන්දු වී තිබෙනවා.

