Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස්පතිගේ නමින් කප්පම් ගන්නා ජාලයක් ගැන විමර්ශන

පොලිස්පතිගේ නමින් කප්පම් ගන්නා ජාලයක් ගැන විමර්ශන

උපසේවා සහකාර පොලිස්පතිගේ නමින් කප්පම් ගන්නා ජාලයක් ගැන විමර්ශන

පොලිස්පතිවරයාගේ අනන්‍යතාවය ව්‍යාජ ලෙස භාවිත කරමින් මෙරට තුළ ක්‍රියාත්මක වන සයිබර් තර්ජන සහ කප්පම් ගැනීමේ මහා පරිමාණ ජාලයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය පුළුල් විමර්ශනයක් අරඹා තිබෙනවා.

ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, විශේෂ කාර්ය බළකායේ සයිබර් ආරක්ෂණ සහ විවෘත මූලාශ්‍ර විමර්ශන ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවයි.

මෙම සයිබර් අපරාධකරුවන් විසින් පොලිස් සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ නිල ලේඛන මෙන්ම පොලිස්පතිවරයාගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කළ අත්සනක් යොදාගනිමින් මහජනතාව වෙත තර්ජනාත්මක විද්‍යුත් තැපැල් පණිවිඩ යොමු කර තිබෙනවා.

එමඟින් විවිධ චෝදනා එල්ල කරමින් බියගන්වා, පුද්ගලයන්ගෙන් මුදල් කප්පම් ගැනීමට මෙම කල්ලිය උත්සාහ කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙමඟින් පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට මෙන්ම මහජන විශ්වාසයටද දැඩි කැළලක් සිදුවන බව පොලිසිය පෙන්වාදෙනවා.

පොලිස් නිලධාරීන්ගේ නම් හෝ නිල ලාංඡන සහිතව පැමිණෙන මෙවැනි සැකකටයුතු ඊමේල් පණිවිඩ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.

එමෙන්ම මහජන ආරක්ෂාව උදෙසා එවැනි තර්ජනාත්මක පණිවිඩ ලැබුණු සැනින් අනවශ්‍ය ලෙස කලබලයට හෝ බියට පත් වීමෙන් වළකින ලෙසත් එම ඊමේල් පණිවිඩවලට කිසිදු හේතුවක් මත පිළිතුරු සැපයීමෙන් හෝ ඔවුන් ඉල්ලා සිටින කප්පම් මුදල් ගෙවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසත් පොලීසිය ඉල්ලා සිටියා.

මෙවැනි සයිබර් අපරාධ තොරතුරු හෝ අත්දැකීම් ඇතැයි හැඟෙන ඕනෑම අයෙකුට ඒ පිළිබඳව වහාම තමන්ට ළඟම ඇති පොලිස් ස්ථානය වෙත, ශ්‍රී ලංකා පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත හෝ පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත තොරතුරු ලබා දිය හැකි බව පොලිසිය දැනුම්දුන්නා.

Exit mobile version