නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය වෙනුවෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් 59,766ක් රැගෙන ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණ ඇති නෞකාවක අඩංගු තොගය, කිසිසේත්ම භාර නොගත යුතු සහ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමක පවතින බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය පවසයි.
අදාළ නෞකාවේ නිල ගල්අඟුරු පැටවුම් වාර්තාව ප්‍රසිද්ධියට පත් කරමින් එම සංවිධානය මේ බව කියා සිටියා.
“MV ජොස්කො යොංග්ෂු” නැමැති මෙම නෞකාවේ පවතින ගල්අඟුරුවල ගුණාත්මකභාවය ඇතුළත් වාර්තාව දකුණු අප්‍රිකාවේ බියුරෝ වෙරිටාස් සොලියුෂන්ස් පෞද්ගලික සමාගම මඟින් නිකුත් කර තිබේ.
ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පෙන්වාදෙන්නේ, ලංකා ගල්අඟුරු සමාගමේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කර ඇති මෙම වාර්තාවේ පිටපත් ගල්අඟුරු සමාගමේ සෙසු නිලධාරීන්ට සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු පිරිස වෙත ද යොමු කර ඇති බවයි.
පසුගිය මාසයේ 28 සහ 29 යන දිනවල දකුණු අප්‍රිකාවේ රිචඩ්ස් බේ (Richards Bay) ගල්අඟුරු පර්යන්තයෙන් මෙම තොගය නෞකාවට පටවා ඇති බවත් එහි අඩංගු අළු ප්‍රතිශතය16.8%ක් ලෙස සටහන්ව ඇති බවත් එම සංවිධානය සඳහන් කළා.
කෙසේ වෙතත්, ලංකා ගල්අඟුරු සමාගම විසින් නිකුත් කරන ලද නිල ටෙන්ඩර් ලේඛනයට අනුව එම අගය උපරිම වශයෙන් ඒකක 16ක් විය යුතු බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය පෙන්වාදෙනවා.
ඒ අනුව මෙම තොගය ටෙන්ඩර් කොන්දේසි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇති බැවින්, දඩ ගැසීමකින් පසුව හෝ මෙම ගල්අඟුරු මිලදී ගැනීමට ලංකා රජයට හෝ ගල්අඟුරු සමාගමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව එම සංවිධානය පවසයි.
ඔවුන් චෝදනා කරන්නේ මෙහි ගල්අඟුරු වෙනුවට වැඩිපුරම පවතින්නේ “අළු” බවයි.
මීට පෙර මෙරටට ගල්අඟුරු රැගෙන ආ නෞකා 18ක ප්‍රමිතිය පිළිබඳ ගැටලු මතු වූ අවස්ථාවලදී, ඒවා දඩ මුදලකට යටත් කර මෙරටට ගොඩබෑමට පියවර ගෙන තිබුණි.
නමුත් වත්මන් නෞකාව මුහුදේදීම හරවා යැවිය යුතු මට්ටමක පවතින බවත්, මෙය ලංකාවට ආ ප්‍රමිතියෙන් බාලම පළමු ගල්අඟුරු නෞකාව වන බැවින් ගොඩබෑම හෝ සිදු නොකළ යුතු බවත් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ප්‍රමිතියෙන් බාල ගල්අඟුරු මිලදී ගැනීම හේතුවෙන් මේ වන විට රජයට සිදුවී ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 20කට වඩා වැඩි බව විවිධ පාර්ශව විසින් කරුණු දක්වා තිබේ.
මේ අතර, බාල ගල්අඟුරු සැපයූ සමාගම්වලට ගෙවිය යුතු මුදල්වලින් රුපියල් කෝටි 960ක මුදලක් රජය විසින් දැනටමත් රඳවාගෙන තිබෙන බව වත්මන් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර තිබුණා.
යම් හෙයකින් රජයේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙම ගල්අඟුරු තොගය ගොඩබානු ලැබුවහොත්, ඊට ගෙවීම් සිදු කිරීමට ලංකා ගල්අඟුරු සමාගමට කිසිදු හැකියාවක් නොමැති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය සිය නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කලේය.

