අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ නම, ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන සූක්ෂම ලෙස උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති ව්‍යාජ තොරතුරුවලට නොරැවටෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
නිල නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පෙන්වාදෙන්නේ, අග්‍රාමාත්‍යවරියගේ අනන්‍යතාවය අවභාවිත කරමින් සකස් කළ මෙවැනි අසත්‍ය පුවත් සහ පෝස්ට් රැසක් මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතින බවයි.
නූතන තාක්ෂණික මෙවලම් සහ කෘත්‍රීම බුද්ධිය භාවිත කරමින්, අග්‍රාමාත්‍යවරිය විසින්ම ප්‍රකාශ කරන අයුරින් සකස් කළ ව්‍යාජ වීඩියෝ දර්ශන සහ ඡායාරූප කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
මේවා හරහා විවිධ රැකියා අවස්ථා, ව්‍යවසායක ව්‍යාපෘති මෙන්ම රටේ වත්මන් බදු ප්‍රතිපත්ති සහ ආර්ථිකය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන සුළු අසත්‍ය පුවත් නිර්මාණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.
මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස බුද්ධිමත් මහජනතාවගෙන් ඉල්ලා සිටින අග්‍රාමාත්‍ය කාර්යාලය, රජයේ ප්‍රතිපත්තීන්ට මෙන්ම අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලිකත්වයට හානි පමුණුවන අයුරින් ව්‍යාජ දේ නිර්මාණය කිරීම සහ ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීම මෙරට පවතින නීතියට අනුව දැඩි දඬුවම් ලැබිය හැකි අපරාධමය වරදක් බව ද අවධාරණය කලේය.

