Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන් 306,101ක් ප්‍රතිලාභ අරගෙන

සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන් 306,101ක් ප්‍රතිලාභ අරගෙන

සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙන් 306,101ක් ප්‍රතිලාභ අරගෙන

සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ආරම්භ වූ දින සිට මෙම වසරේ මාර්තු 31 වනදා දක්වා සිසු දරු දැරියන් තුන් ලක්ෂ හයදහස් හයසිය එක් දෙනකු ප්‍රතිලාභ ලබා ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේව‌ගේ මහතා පාර්ලිමේන්තුවේ දී පසුගියදා (21) ප්‍රකාශ කළේය.

පාසල තුළ දී මෙන්ම පිටතදීත් ඇතිවන රෝග, අනතුරු හා ආබාධ සඳහා ප්‍රතිකාර ලබා දීම වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීම මෙහි ආරම්භක අරමුණක් වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 2022-12-01 වනදා සිට 2024 06-30 දක්වා වකවානුව තුළ මෙම රක්ෂණාවරණය ක්‍රියාත්මක වී නොමැති බවයි.

එහෙත් පාසල් දරු දැරියන් වෙනුවෙන් ක්‍රියාත්මක මෙම රක්ෂණාවරණය ඉදිරියේදීත් ක්‍රියාත්මක කිරීම වත්මන් රජයේ අරමුණ බවද හෙතෙම පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන ආරම්භ වූයේ 2017-01-01 වනදා.පාසල තුළ දී හා ඉන් පිටත දී ඇතිවන රෝග, අනතුරු හා ආබාධ සඳහා ප්‍රතිලාභ ලබා දීම තුළින් සෞඛ්‍ය හා අධ්‍යාපනය තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම රක්ෂණාවරණය හඳුන්වා දී තිබෙනවා. දරුවන්ට සිදුවන ආබාධ අවස්ථාවන්වල දී ප්‍රතිකාර සඳහා සහය ලබා දීම මෙන්ම පාසල් පැමිණීම වැඩිකිරීම, මෙහි ආරම්භක අරමුණු ලෙස සඳහන් වෙනවා. මෙම සුරක්ෂා වැඩසටහන ආරම්භක වසරේ සිට මේ දක්වා ප්‍රතිලාභ ලැබූ දරුවන්

2017-01-01 සිට 2018-01-30 දක්වා දරුවන් 40978ක් ප්‍රතිලාභ ලබා තිබෙනවා.

2018-12-01 සිට 2019-11-30 දක්වා 74983ක් ප්‍රතිලාභ ලබා තිබෙනවා. 2019-12-01 සිට 2020-05-30 දක්වා 28431ක්.

2020-05-31 සිට 2020-12-01 දක්වා 30545.

2020-12-02 සිට 2021 -12-01 දක්වා සිසුන් 34712ක් ප්‍රතිලාභ ලබා තිබෙනවා.

2021-12-02 සිට 2022-12-02 දක්වා 28968ක්. 2022-12-02 සිට 2024-06-30 දක්වා රක්ෂණාවරණය ක්‍රියාත්මක වී නැහැ. 2024-07-01 සිට 2025-08-31 දක්වා 49330ක්ද 2025-09-01 සිට 2026 -03-31 දක්වා 18654ක් ප්‍රතිලාභ ලබා තිබෙනවා.

Exit mobile version