බාල වයස්කාර දැරියකට බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනා එල්ල වී සිටින අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට රාජ්‍ය නොවන සහ බෞද්ධ විරෝධී සංවිධාන එක්ව විරුද්ධව කරුණු දක්වමින්, උන්වහන්සේව වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම සඳහා මහජනතාව පෙළඹවීමක් සිදුකරන බව විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙක් ප්‍රකාශ කළා.
අනුරාධපුරය වැනි දුෂ්කර පළාත්වල වයස අවුරුදු 7, 8, 10 සහ 12 වැනි කුඩා ගැහැණු දරුවන් විශාල ප්‍රමාණයක් අතීතයේ සිටම ලිංගික අපචාරයන්ට සහ දූෂණයන්ට ලක්ව ඇති බවද ඔහු කියා සිටියා.
අටමස්ථානාධිපති හිමියන්ගේ ඇප නියෝගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙවැනි දුෂ්කර ප්‍රදේශවල දරුවන් අතවරයට ලක්වූ අවස්ථාවලදී ක්‍රියාත්මක නොවන ඇතැම් කාන්තා සහ රාජ්‍ය නොවන සංවිධාන (NGO), මෙම සිදුවීමේදී පමණක් සුවිශේෂී උනන්දුවක් දක්වන බවයි.
ඔහු සඳහන් කළේ, සැකකාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඇතුළු 40කට අධික නීතිඥවරුන් පිරිසක් අධිකරණයේ පෙනී සිටි බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“අපි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සමඟ නීතිඥවරු 40කට වඩා වැඩි ප්‍රමාණයක් සැකකාර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පෙනි සිටියා. අපි නිරීක්ෂණය කරපු එක දෙයක් තමයි පැමිණිල්ලේ අයිතිවාසිකම් වෙනුවෙන් කියලා ඒ සඳහා නිල බලයක් තියෙන පොලිසියට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අමතරව මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් පෙනී සිටියා. නමුත් මේ අවස්ථාවේදී ඒ සියලු පාර්ශ්වයන්ගේ කරුණු දැක්වීමට අවධානය යොමු කරපු මහේස්ත්‍රාත්තුමා ඇප පනතේ 14 වන වගන්තිය යටතේ වූ තියෙන නීතිමය පදනම යටතේ ඇප ලබාදීමක් සිදු කළා. විශේෂයෙන්ම කියන්න ඕනේ අනුරාධපුර ප්‍රදේශයේ විශේෂයෙන්ම මේ වගේ දුෂ්කර පළාත්වල ගෑණු ළමයි ගණනාවක් අපචාරයන්ට ලක්වෙලා තියෙනවා. දූෂණයන්ට ලක්වෙලා තියෙනවා. අවුරුදු 7, 8, 10, 12 ගෑනු ළමයි දූෂණයට ලක් වෙලා තියෙනවා. නමුත් මේ කාන්තා සංවිධානවල මේ එන්.ජී.ඕ වල කිසිම අවධානයක් ඒ ළමයි වෙනුවෙන් යොමු වෙලා නෑ.
අපි අද නිරීක්ෂණය කරපු ප්‍රධාන දෙයක් තමයි මෙතන තියෙන්නේ ඒ වින්දිතයා වූ දැරියට තියෙන පක්ෂපාතීත්වයට වඩා අටමස්ථානාධිපති ස්වාමීන් වහන්සේට තියෙන විරෝධතාවය කියලා. ඒ කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන විසින්, බෞද්ධ විරෝධී සංවිධාන විසින් ජනතාව පෙළඹවීමක් කරනවා මෙහිදී නායක හාමුදුරුවන්ට විරුද්ධව කරුණු දක්වලා නායක හාමුදුරුවන්ව වැඩි කාලයක් රක්ෂිත බන්දනාගාරයේ ගත කරවන්න. මෙතනදි අපි නීතිය ඉතාමත්ම නිවැරදිව පෙන්වලා දුන්නා. මේ නඩුව තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ. මහේස්ත්‍රාත් අධිකරණය කියන්නේ නඩුව අහලා නඩුවේ කරුණු මත වැරදිකාරයාට දඬුවම් දෙන අධිකරණය නෙමෙයි. ස්ත්‍රී දූෂණ නඩු සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණය කරන්නේ විමර්ශන කිරීම සම්බන්ධයෙන් සහය දැක්වීමක් පමණයි. ඒ වගේම සැකකාරයෙක් මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් වුණාම සැකකාරයාට ඇප ලබා දීමට හෝ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලයක් මහේස්ත්‍රාත්වරයාට තියෙනවා.”

