දේශපාලනඥයින්ට කරන ලද වන්දි ගෙවීම් අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නැවත නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
පසුගිය 2022 වසරේ මැයි 09වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් අලාභ හානි සිදු වූ මැති ඇමතිවරුන්ගේ නිවාස වෙනුවෙන් ලබා දුන් වන්දි මුදල් සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් ඊයේ (08) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බලා ඇත.
අදාළ දේපළ හානි වෙනුවෙන් හිටපු මැති ඇමතිවරුන් පිරිසක් නීති විරෝධී අයුරින් වන්දි ලබාගෙන ඇති බවත් එම මුදල් යළි රජයට අය කර ගැනීමට නියෝග කරන ලෙසත් ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෙම නඩුවට පදනම් වී තිබේ.
එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළිත් නොතීසි නිකුත් කරන ලෙස අධිකරණය නියම කළේය.
අදාළ වන්දි ගෙවීම් නීති විරෝධී බවට ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා ඇති අතර එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

