ඉරානය දැඩි ආර්ථික අර්බුදයකට තල්ලුවෙමින් සිටින බැවින් සාකච්ඡා සඳහා ඉක්මන් වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට නැවතත් අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ජනාධිපතිවරයා මේ අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ ඉරාන පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ නවතම යෝජනාවලිය සම්බන්ධව පෙරේදා සිය ආරක්ෂක කමිටුව සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසුව බවද වාර්තා වේ. ඉරාන නියෝජිතයන් පාකිස්තාන රජය හරහා ලබා දුන් යෝජනාවලිය තවදුරටත් සලකා බලමින් සිටියද, එරට ආර්ථිකයේ මර්මස්ථානය වන මුහුදු මාර්ගික වෙළෙඳාම සඳහා අමෙරිකානු නාවික හමුදාවෙන් තවදුරටත් අවහිර කරනු ඇතැයිද ට්‍රම්ප් ටෘත් සමාජ මාධ්‍යයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ ට්‍රම්ප්ගේ තීරණයේ කිසිදු වෙනසක් නැති බවත්, ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය කරුණු ඇතුළත් ගිවිසුමකට එළැඹීමට පමණක් යොමුවනු ඇතැයි ධවල මන්දිරය ද ප්‍රකාශ කර ඇති අතර, ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් ඉරාන ආරක්ෂක හමුදාව නිවේදනය කර ඇත්තේ ඉරාන වරායන් ඉලක්ක කරමින් අමෙරිකානු නාවික හමුදාව සිදු කරන අවහිර කිරීම අත්හිටුවනතුරු හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවය.
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරිමට පෙර අමෙරිකානු නාවික හමුදාව සිය වරායන් අවහිර කිරිම අත්හිටුවිය යුතු බවට ඉරානය යෝජනා කර ඇති අතර, එම යෝජනාවලියට න්‍යෂ්ටික වැඩසටහන ඇතුළත් නොවීම පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් සෑහීමකට පත්වී නැති බවද වාර්තා වේ.
පසුගිය 8 වැනිදා පාකිස්තානයේ මැදිහත්වීමෙන් දෙරට අතර ඇතිකරගත් සති දෙකක සටන් විරාමය අතරතුර දෙරටේ නියෝජිතයන් ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වූ සාකච්ඡාව අසාර්ථක වූ අතර, නැවත සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් සටන් විරාමය දින නියමයකින් තොරව දීර්ඝ කිරිමට ට්‍රම්ප් පියවර ගෙන තිබිණි. එහෙත් දෙවැනි වරටත් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවසන් මොහොතේ අවලංගු වූයේ අමෙරිකාව කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බව කියමින් අමෙරිකානු නියෝජිතයන් මුහුණට මුහුණ හමුවීම ඉරාන පාර්ශ්වය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. කෙසේ වෙතත් මේ සති අන්තයේ නැවත අමෙරිකානු පාර්ශ්වය සමඟ සාකච්ඡාවක් සඳහා ඉරාන නියෝජිතයන් එකඟකර ගැනීමට පාකිස්තාන රජය උත්සාහ දරමින් සිටින අතර, එවැනි සාකච්ඡාවක් සඳහා පැමිණීමට අමෙරිකානු නියෝජිතයන් සූදානමින් පසුවන බවද වාර්තා වේ.

