ඇමරිකාවේ වොෂිංටන් නුවර හෝටලයක සිදුවූ වෙඩි තැබීම පිළිබඳ නව තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
31 හැවිරිදි කෝල් තෝමස් ඇලන් නැමැති සැකකරු සිය පවුලේ ඥාතීන්ට යැවූ බව කියන ඊමේල් පණිවිඩයක දැක්වෙන්නේ, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් සිය ඉලක්කය වූ බවයි. නමුත් FBI ප්‍රධානී කෑෂ් පටෙල් තමන්ගේ ඉලක්කයක් නොවන බව ඔහු එහි අවධාරණය කර ඇත. අදාළ ඊමේල් පණිවිඩය ඔහු හඳුන්වා දී ඇත්තේ සිය “ප්‍රතිපත්ති ප්‍රකාශය” ලෙසිනි.
ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්, අගනුවර පොලිස් නිලධාරීන් හෝ ජාතික ආරක්ෂක භටයින් තමන්ගේ ඉලක්කය නොවන බවත්, එම නිලධාරීන් වෙඩි නොවදින කබා පැළඳ සිටිනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් එම ප්‍රකාශයේ දැක්වේ. කෙසේ නමුත්, පසුගිය 26 වනදා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ ප්‍රභූ ආරක්ෂක නිලධාරියෙකි. ඔහු වෙඩි නොවදින කබායක් පැළඳ සිටි බැවින්, ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ අතර හෝටල් පරිශ්‍රයේ ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද සැකකරු විවේචන එල්ල කර ඇත. හෝටලයේ හෝ ප්‍රවාහන පහසුකම්වල කිසිදු විශේෂ ආරක්ෂාවක් නොතිබූ බවත්, අවශ්‍ය වූයේ නම් වෙඩික්කරුවෙකුට ස්වයංක්‍රීය ගිනි අවියක් වුවද කිසිදු බාධාවකින් තොරව රැගෙන ඒමට හැකියාව තිබූ බවත් සැකකරු පවසයි.
සැකකරුගේ ඊමේල් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, තමන් පෞද්ගලිකව ට්‍රම්ප් පරිපාලනයෙන් පීඩාවට පත් නොවුවද, රැඳවුම් කඳවුරුවලදී විවිධ අපයෝජනයන්ට සහ අසාධාරණ දඬුවම්වලට ලක්වූවන් වෙනුවෙන් පෙනී සිටීම සිය අරමුණ වූ බවයි. “පීඩාවට පත් වූවන් වෙනුවෙන් ප්‍රතිරෝධය නොදැක්වීම, පීඩකයාගේ අපරාධවලට හවුල් වීමක්” බවද එහි සඳහන් වේ.
අදාළ ඊමේල් පණිවුඩය ලද වහාම සැකකරුගේ සහෝදරයා ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඇමරිකාවේ පළමු ව්‍යවස්ථා සංශෝධනයේ දැක්වෙන භාෂණයේ නිදහස සැමරීම වෙනුවෙන් ධවල මන්දිර වාර්තාකරුවන් ඇතුළු අමුත්තන් 2,500ක් පමණ එම හෝටලයට රැස්ව සිටියහ. මීට පෙර මෙම ආරාධනා ප්‍රතික්ෂේප කළ ද, මෙවර ජනාධිපති ට්‍රම්ප් සිය ආර්යාව සමග උත්සවයට සහභාගී විය. ඔහු දේශනය පැවැත්වීමට පෙර වෙඩි ශබ්ද ඇසීමත් සමග ආරක්ෂක නිලධාරීන් වහාම ජනාධිපතිවරයා ඇතුළු පිරිස ආරක්ෂිතව ඉවත් කර ගැනීමට කටයුතු කළේය.
වැඩබලන නීතිපති ටොඩ් බ්ලාන්ච් සඳහන් කළේ,වෙඩි තැබීම සන්තකයේ තිබී ගිනි අවි 02ක් සහ තියුණු ආයුධ කිහිපයක් සොයාගත් බවයි. විශේෂත්වය වන්නේ, මීට වසර 45කට පෙර එවක රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදුවූයේද මෙම හෝටලයේදීම වීමයි.

