2015-2019 කාලසීමාව තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ නිවාස ව්‍යාපෘති 2,562ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබී ඇති අතර, ඒ යටතේ ඉදිකිරීමට අපේක්ෂා කර තිබූ මුළු නිවාස සංඛ්‍යාව 64,407කි.
ඒ අනුව, නිවාස ආධාර යටතේ ගම්මාන 1,138ක්ද, ප්‍රතිලාභීන් වෙත නිවාස ණය ලබා දීම මඟින් ගම්මාන 1,334ක්ද, ඉන්දීය රජයේ ආධාර යටතේ ගම්මාන 90ක්ද වශයෙන් එකී නිවාස ව්‍යාපෘති සැලසුම් සකස් කර තිබී ඇත.
එහෙත්, ඉන් වැඩ නිමවා විවෘත කිරීමට හැකි වී ඇත්තේ ගම්මාන 386ක් පමණක් වන අතර, වැඩ අවසන් කරන ලද මුළු නිවාස සංඛ්‍යාව 10,532කි.
ඉතිරි නිවාස සම්පූර්ණ කිරීම සඳහා තවත් රුපියල් බිලියන 11.26ක අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වන බවට ඇස්තමේන්තු කර තිබේ. එකී ව්‍යාපෘතිවල ප්‍රගතිය අවම වීම කෙරෙහි විවිධ හේතු බලපා ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින්, එම ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය විශ්ලේෂණය කර සත්‍ය වශයෙන්ම නිවාස අවශ්‍යතාව පවතින අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගැනීමටත්, අතරමග නතර වූ ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජනතාව පදිංචි කරවීමටත්, ලබා දුන් ණය මුදල් අයකර ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමටත් අදාළව කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

