Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඇමති ලාල්කාන්තගෙන් පෞද්ගලික නාලිකාවකට එරෙහිව ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලිපියක්

ඇමති ලාල්කාන්තගෙන් පෞද්ගලික නාලිකාවකට එරෙහිව ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලිපියක්

ඇමති ලාල්කාන්තගෙන් පෞද්ගලික නාලිකාවකට එරෙහිව ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලිපියක්

ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කොපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් යටතේ ඇති රූපවාහිනි නාලිකාව කරුණු විකෘති කරමින් හා වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ප්‍රවෘත්තියක් පල කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් ඉදිරිපත් කර තිබෙනවා.

ස්වේඡාවෙන් හෙළි කළ වත්කම් හා බැරකම් ප්‍රකාශය පදනම් කර ගනිමින්, සාවද්‍ය ප්‍රවෘත්තියක් පළ කිරීම පිළිබඳව නීතිමය ප්‍රතිපාදන අනුව එම නාලිකාව සම්බන්ධව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසයි එම ලිපියෙන් අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා ඉල්ලා සිටින්නේ.

කරුණු 16කින් සමන්විත එම පැමිණිල්ල මගින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත භාරදුන් එම වත්කම් හා බැරකම් ප්‍රකාශය පවුලේ අනෙකුත් පුද්ගලයන්ගේ නම් හෙළි නොවන පරිදි මහජනතාවට දැක ගත හැකි ආකාරයෙන් ප්‍රසිද්ධ කිරීමට එම කොමිෂන් සභාව කටයුතු කර ඇති බවයි.

එම ප්‍රකාශය පදනම් කර ගනිමින් ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කොපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ් යටතේ ඇති රූපවාහිනි නාලිකාව 2026.04.16 හෝ ආසන්න දිනක කරුණු විකෘති කරමින් හා වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ප්‍රවෘත්තියක් පළ කර ඇති බවයි.

එය පළ කිරීමට පෙර කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමට එම රූපවාහිනි නාලිකාව කටයුතු නොකළ අතර එම සාවද්‍ය හා ද්වේශ සහගත ප්‍රවෘත්තිය මගින් රුපියල් කෝටි 46කට අධික වත්කම් තමන් සතුව පවතින බවට ඔවුන්ගේ ගණනය කිරීමක් මත පළ කර ඇති බවයි අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා පැමිණිල්ලෙන් සඳහන් කර තිබෙන්නේ.

ඊට අදාළ කරුණු සිරස්තල ලෙස දක්වමින් එම වැරදි ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය හා ඩිජිටල් අවකාශයේ ප්‍රචාරය කිරීමටත් එම නාලිකාව කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පවසනවා.

එම අසත්‍ය ප්‍රවෘත්තිය හේතුවෙන් තම කීර්තිනාමයට විශාල හානියක් සිදුවූ අතර වැරදි ආකල්පයක් ජනතාව අතර ඇති කිරීමට උත්සහ දරා ඇති බවත් අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා පෙන්වා දුන්නා.

අදාළ රූපවාහිනි නාලිකාව අවම මාධ්‍ය සදාචාරයක් හෝ නොතකමින් එම මාධ්‍ය ආයතනය වෙත නිකුත් කර ඇති බලපත්‍රයේ කොන්දේසි මෙන්ම නීතිමය ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව අමාත්‍යවරයා සිය ලිපිය මගින් ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට ලබාදී ඇති විකාශන බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කරමින් එම රූපවාහිනි නාලිකාව නීති විරෝධි ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන මෙම ලිපිය සලකා බලා නීතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Exit mobile version