ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පෞද්ගලික සමාගම බරපතල ලෙස මාධ්‍ය නිදහස අවභාවිත කළ බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඔවුන් පළකළ අසත්‍ය තොරතුරු හේතුවෙන් තම සංස්ථාවේ කීර්තිනාමයට දැඩි ලෙස හානි සිදුව ඇති බවයි එම සංස්ථාව පැමිණිල්ලෙන් අවධාරණය කර ඇත්තේ.
ඒ හේතුවෙන් එම සංස්ථාවේ කීර්ති නාමයට රටේ ආර්ථිකයට සහ සමාජයට සිදුවන හානිය වළක්වා ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඉතා කඩිනමින් මැදිහත් වන ලෙසයි එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ.
ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් පෞද්ගලික සමාගම මාධ්‍ය නිදහස අවභාවිත කිරීම සහ අසත්‍ය තොරතුරු බෙදාහැරීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ රටට සිදුව ඇති අගතිය පිළිබඳ පැහැදිලි කිරීම සඳහා (20) නිවේදනයක් නිකුත් කළා.
2026 අප්‍රේල් 16 වන දින හෝ ඊට ආසන්න දිනකදී එම ආයතනයේ පුවත් විකාශයෙන් ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයකට ඇමෙරිකා ඩොලර් 286ක අධික මිලක් ගෙවලා යන මැයෙන් චෝදනාත්මක පුවතක් පළකර ඇති බව එම නිවේදනයේ සඳහන්.
ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා චේතනාන්විතව විකෘති කරමින් ආයතනික නිෂ්පාදනය පිළිබඳ වැරදි තොරතුරු සහිතව ද එම ගනුදෙනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් සිදුකළ බවට නොමග යවන සුලු ලෙස ද එම පුවත ඉදිරිපත් කළ බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවට බොරතෙල් ආනයනය සඳහා අවසර ලත් එකම ආයතනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බව රටේ නීතියට සහ පොදු දැනුමට අදාළ කරුණක්.
ඒ අනුව මෙම පුවත මගින් එම ගනුදෙනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් සිදුකළ එකක් බවට සැකයකින් තොරව සිතාමතාව හඟවා ඇති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙන්වා දෙන්නේ.
එම චෝදනාත්මක පුවත මුළුමනින්ම අසත්‍ය බව ප්‍රකාශ කරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරන්නේ කිසිදු අවස්ථාවක බොරතෙල් බැරලයක් ඇමෙරිකා ඩොලර් 286කට හෝ ඊට කිසිලෙසකින් හෝ ආසන්න මිලකට මිලදීගෙන නැති බවයි.
මේ පිළිබඳ සංස්ථාව නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබියදීත් අදාළ නාලිකාව ලාංකීය ගැනුම්කරුවෙක් ඩොලර් 286කට බොරතෙල් බැරලයක් ගත්තා.
“CEO” කීදේ එච් එස් බී සී මාධ්‍ය අංශයත් තහවුරු කරයි” යන මැයෙන් තවදුරටත් අසත්‍ය ප්‍රකාශය විකාශ කරමින් හිතාමතාම ජනතාව නොමග යැවීමට කටයුතු කළ බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙන්වා දෙන්නේ.
මෙහිදී HSBC ප්‍රධානියාගේ ප්‍රකාශය හිතාමතාම විකෘති කර අසත්‍ය ප්‍රකාශයක් සමාජගතකර රටේ අර්බුදයක් නිර්මාණය කිරීමට කටයුතු යොදා ඇති බවද එම නිවේදනයේ සඳහන්.
සිය ප්‍රකාශවල අසත්‍යතාව පිළිබඳ දැනුවත් කර තිබියදීත් මෙසේ දිගින් දිගටම අසත්‍ය තොරතුරු පළකිරීම චේතනාන්විත විෂමාචාරයක් මෙන්ම ද්වේශසහගත ලෙස සත්‍ය ලෙස නොසලකා හැරීමක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
මෙසේ අසත්‍ය තොරතුරු විකාශය කිරීමේ ප්‍රතිවිපාක බොහෝ අංශ කෙරෙහි බරපතල ලෙස බලපාන බවද එම නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.
ඉදිරියේ විශාල මිල වැඩිවීමක් සිදුවනු ඇති බවට මතයක් සමාජ ගතවීම සහ එමගින් මහජන කැළඹීමක් ඇතිවීම / ජාතික වශයෙන් වැදගත්කමක් ඇති ආයතනයක් පිළිබඳ මහජන විශ්වාසය පළුදුවීම / ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිළිබඳ මොරට සහ ජාත්‍යන්තරයේ ඇති කීර්තිනාමයට හානිවීම / ශ්‍රී ලංකාව විදේශීය සැපයුම්කරුවන් ණයදෙන ආයතන සහ වෙනත් පාර්ශ්ව සමග පවත්වන සබදතා කෙරෙහි අගතිදායක ලෙස බලපෑම රටේ බලශක්ති ස්වෛරීත්වය සහ ආර්ථික ස්ථායීතාවයට අගතියක් ලෙස බලපෑම /යන ප්‍රතිවිපාක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඔබ්බට යමින් රටටත් ජනතාවටත් බලපාන බවයි එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.
භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස රටේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාවෙන් ආරක්ෂාක තිබුණ ද සිතාමතා සාවධ්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට හෝ ජාතික ආර්ථිකයට අදාළ කරුණු නොසැලකිලිමත් සහ වගකීම් විරහිත ලෙස විකෘති කිරීමට හෝ මහජන විශ්වාසය සහ මහජන සාමය කඩවීමට ද බලපාන ලෙස හැසිරීමට හෝ ඉඩක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරනවා.
මෙම නාලිකාවේ ක්‍රියාකලාපය මාධ්‍ය නිදහස බරපතල ලෙස අවභාවිත කිරීමක් සහ ජනමාධ්‍ය ප්‍රමිතීන් සහ ආචාර්ධර්ම බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බැවින් වහාම නියාමන අධීක්ෂණයකට ලක්කළ යුතු බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
මතුව ඇති තත්ත්වය යටතේ අදාළ නාලිකාව මෙම සාවද්‍ය පුවත විකාශය කිරීම මගින් සිය විකාශන බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනය කර ඇත්දැයි වහාම විමර්ශනයක් ආරම්භ කිරීම හා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම / පොදුවේ ජනමාධ්‍ය ප්‍රමිතීන් ආචාරධර්ම සහ නියාමනයට අදාළ වගවීම පිළිබද විභාග කිරීම / ජාතික ආර්ථිකයට වැදගත් වන කරුණු වාර්තා කිරීමේ දී වගකීම්සහගත වාර්තාකරණය තහවුරු කිරීම පිණිස මාධ්‍ය ආයතනවලට මාර්ගෝපදේශ සහ නියෝග නිකුත් කිරීම සිදුකරන ලෙස මෙම නිවේදනයෙන් ඉල්ලා සිටිනවා.
එවැනි මැදිහත්වීම මෙම සිද්ධියට අදාළ යුක්තිය ඉටුවීමට පමණක් නොව මාධ්‍ය නියාමන රාමුව පිළිබද මහජන විශ්වාසය ගොඩගැනීමට ද පිටුවහලක් වනු ඇති බවයි එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.
මෙම ඉල්ලීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කීර්තිනාමය නිදොස්කර ගැනීම සදහා පමණක් නොවන බව පෙන්වා දෙන එම සංස්ථාව පද්ධතිගත දුස්තොරතුරුවලින් මහජනතාව ආරක්ෂා කිරීම / අත්‍යවශ්‍ය ජාතික සේවා ආයතන පිළිබද විශ්වසනීයත්වය ආරක්ෂා කිරීම / වහජනතාව සතු සංඛ්‍යාත ජාතික අභිලාශයන්ට හානිවන ලෙස අවභාවිත කිරීම වැළැක්වීම අරමුණු කර ගනිමින් ඉදිරිපත් කරන බවයි නිවේදනයේ සඳහන් වන්නේ.

