ශ්‍රී ලංකාවේ 15 වන ජන හා නිවාස සංගණනය 2024 වසරේදී පවත්වා ඇති අතර එම සංගණනයේ කරුණු රැසක් මේ වන විට අනාවරණය කිරීමට ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම සංගණන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය 21,781,800ක් ලෙස වාර්තා වී ඇති අතර රටම සැලකීමේදී වාර්තා වන ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 350ක් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
මුළු ජනගහනයෙන් 28.1%ක ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර තවදුරටත් වැඩිම ජනගහනයක් සහිත පළාත එය බවත් සඳහන් කර ඇති ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පැවසුවේ දිස්ත්‍රික් මට්ටමින් ඉහළම ජනගහනය ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවය.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහන අගය 2,436,142ක් වාර්තා වී ඇති අතර අඩුම ජනගහනය මුලතිව් දිස්ත්‍රික්කයෙන් එනම් 122,619ක් වාර්තා වී තිබේ.
2024 වසරේදී අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් මුළු ජනගහනයෙන් 18.0%ක් වාර්තා වී ඇති අතර ළමා ජනගහන ප්‍රතිශතය 20.7%ක් දක්වා අඩු වී ඇතැයිද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
තවද මධ්‍යස්ථ වයස අවුරුදු 35 දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙය 2012 වසරේ සංඝණනයට වඩා වසර 5ක වැඩිවීමක් බවත් එම වාර්තාවේ සඳහන් වේ.
ස්ත්‍රී – පුරුෂ අනුපාතය ජාතික මට්ටමින් ගත් කළ ස්ත්‍රීන් 100කට පුරුෂයින් 93.1ක් සිටින අතර එය 2012 වසරේ පැවැති 93.8ට වඩා අඩු අගයක් බවත් එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.
එමෙන්ම සමස්ත ජනගහනයෙන් 41.8%ක් කිසි දිනෙක විවාහ නොවූවන් බවත් පෙන්වා දී ඇති එම වාර්තාව මගින් ඒ සම්බන්ධව වාර්තා කර ඇත්තේ එය 2012 වසරේදී පැවැතියේ 30%ක් ලෙසින් වූ බවත්ය.
විවාහ වන වයස සම්බන්ධයෙන්ද එම වාර්තාවෙන් කරුණු අනාවරණය කර ඇති අතර එමගින් දක්වා ඇත්තේ පුරුෂයින් සඳහා වසර 29.2ක් දක්වාත් කාන්තාවන් සඳහා වසර 25.6ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවත්ය. මින් පෙර එම 2012 එම වාර්තාවේ සඳහන් ඇත්තේ පුරුෂයින් 27.2ක් හා කාන්තාවන් 23.4ක් ලෙසින්ද වාර්තා වී ඇත.
වැන්දඹුභාවය සම්බන්ධයෙන් ගත් කළ වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින් අතර වැන්දඹුභාවය කාන්තාවන් සඳහා 44.2%ක් සහ පුරුෂයින් සඳහා 10.5ක් ලෙසින්ද ඉහළ ගොස් තිබේ.
මින් පෙර 2012 වසරේදී එය කාන්තාවන් සඳහා 38.4%ක් සහ පුරුෂයින් සඳහා 8.6%ක් ලෙසින් සඳහන්ව තිබුණි.
ජනවර්ගය සහ ආගම
2024 ජන හා නිවාස සංගණන වාර්තාව අනුව ජනවර්ගය සහ ආගම සම්බන්ධවද කරුණු රැසක් අනාවරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය ජනවර්ග අනුව විසිරීම සලකා බැලීමේදී විශාලතම ජනවර්ගය සිංහල වන බවත් එය සංඛ්‍යාත්මකව 16,144,037ක් එනම් මුළු ජනගහනයෙන් 74,12ක් බවත් ජන ලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකා දෙමළ ජනගහනය 2,681,627ක් එනම් 12.31%ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් ජනගහනය 2,283,246ක් එනම් 10.47%ක් ලෙසත් වාර්තා වී තිබේ.
තවද ඉන්දීය දෙමළ (කඳුරට දෙමළ) ජනගහනය 600,360ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත ජනගහනයෙන් 2.76%ක් ක ප්‍රතිශතයක් ලෙස නිරූපනය වේ.
අනෙකුත් ජනවාර්ගික කණ්ඩායම් අතරට බර්ගර් 31,721ක් මැලේ 26,650ක් ශ්‍රී ලංකා වෙට්ටි 2,443, භාරත 1,183, සහ වැදි ජනතාව 1,373ද ඇතුළත් වේ.
මීට අමතරව වෙනත් ලෙස වර්ගීකරණය කර ඇති පිරිස පුස්ගලයින් 9,160කි.
පළාත් මට්ටමින් ගත් කළ දකුණු – 94.8%, උතුරු මැද – 90.5%, සබරගමුව – 86.5%, වයඹ – 84.8% සහ බස්නාහිර – 83.6%ක් යන පළාත්වල සිංහල ජනගහනය ඉහළම ප්‍රතිශතයක් වාර්තා වී ඇති අතර උතුරු පළාතේ බහුතරය ශ්‍රී ලංකා දෙමළ 91.5ක ජනතාවගෙන්ද සමන්විත වේ.
එමෙන්ම නැගෙනහිර පළාතේ ශ්‍රී ලංකා මුස්ලිම් බහුතරය 39.5%ක් ලෙස ඉහළම අගයක් ගන්නා බවත් ඉන්දීය දෙමළ ජනතාව ප්‍රධාන වශයෙන් මධ්‍යඹ පළාතේ 15%ක් සංකේන්ද්‍රණය වී ඇති බවත් මෙම වාර්තාවේ සඳහන්ව තිබේ.
ආගමික සංයුතිය අනුව සමස්ත ජනගහනයෙන් සියයට 69.8%ක් බෞද්ධයින් වන බවත් හින්දු 12.6%ක් ඉස්ලාම් 10.7ක් සහ 5.6%ක් රෝමානු කතෝලික සහ 1.3ක් වූ අනෙකුත් ක්‍රිස්තියානිද ඇතුළත් වන බවත් එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.
අධ්‍යාපනය සහ සාක්ෂරතාව
2012 වර්ෂයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටම සහ සාක්ෂරතාවය 2024 වන විට කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බව පෙන්වා දෙන එම වාර්තාව මගින් සඳහන් කර ඇත්තේ උසස් අධ්‍යාපනය සඳහා කාන්තා සහභාගීත්වය ඉහළ ගොස් ඇති බවත් තරුණ පරපුර අතර ඩිජිටල් සාක්ෂරතාවයේ සීඝ්‍ර වර්ධනයක්ද නිරීක්ෂණය වන බවත්ය.
එමෙන්ම 25% සහ ඊට වැඩි ජනගහනයෙන් වැඩිම පිරිසක් 58.4%ක් ද්විතියික අධ්‍යාපනය ලබා ඇති අතර මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පොදු ලක්ෂණයක් බවත් තෘතියික අධ්‍යාපන මට්ටමේදී පුරුෂයින්ට වඩා කාන්තාවන්ගේ ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නා බවත් මෙම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
2012 සංගණනයට සාපේක්ෂව පාසල් නොගිය හෝ ප්‍රාථමික අධ්‍යාපනය පමණක් ලැබූ පිරිස 2024 වන විට සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවත් වයස අවුරුදු 25 සහ ඊට වැඩි ජනගහනය අතුරින් පුද්ගලයින් 6,690,333ක් සාමාන්‍ය පෙළ හෝ ඊට වැඩි සුදුසුකම් ලබාගෙන ඇති බවත් මෙම වාර්තාව මගින් අනාවරණය කර ඇත.
තෘතියක අධ්‍යාපනය සිය ඉහළම අධ්‍යාපන සුදුසුකම ලෙස වාර්තා කළ පිරිස 2012 වසරට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර ඒ අනුව එම අගය පැවැති 18.2% සිට 26.2 දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙහිදී පුරුෂයින්ට වඩා කාන්තාවන් ලබා ඇති ප්‍රගතිය කැපී පෙනෙන බවත් එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
වයස අවුරුදු පහ සහ ඊට වැඩි ජනගහනය අතර පරිගණක සාක්ෂකරතාව 34.7%ක් වන අතර ඩිජිටල් සාක්ෂරතාව 67.6%ක් තරම් ඉහළ අගයක් ගන්නා බවත් වයස අවුරුදු 20-24 කාණ්ඩය ඉහළම පරිගණක සාක්ෂරතාව වාර්තා කරන අතර වයස අවුරුදු 15-19 කාණ්ඩය ඩිජිටල් සාක්ෂරතාව අතින් පෙරමුණ ගෙන සිටින බවත් අදාළ වාර්තාවේ සඳහන්ව ඇත.
තවද වයස අවුරුදු 70 සහ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් පවා සියයට 15කට වැඩි පිරිසක් ඩිජිටල් සාක්ෂරතාවයෙන් යුක්ත බවත් එය සුවිශේෂී කාරණයක් බවත් මෙම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
නිවාස තත්ත්වය සහ ජීවන තත්ත්වය
අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ 2012 වර්ෂයට සාපේක්ෂව 2024 වන විට ශ්‍රී ලංකාවේ නිවාසවල ගුණාත්මකභාවය සහ සනීපාරක්ෂක පහසුකම් සහ තාක්ෂණික ප්‍රවේශය සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවය.
විශේෂයෙන්ම විදුලිය සහ ගෑස් භාවිතය ඉහළ ගොස් ඇති බවත් භූමිතෙල් සහ දර භාවිතය කෙමෙන් අඩු වෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇති බවත් වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
2024 වසර වන විට මෙරට පදිංචිය සහිත නිවාස ඒකක සංඛ්‍යාව 6,030,541ක් ලෙස වාර්තා වී ඇති බවත් එය 2012 වසරට සාපේක්ෂව නිවාස ඒකක 822,801ක වර්ධනයක් බවත් අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
සමස්ත නිවාස ඒකක අතරින් වැඩිම ප්‍රතිශතයක් ග්‍රාමීය අංශයෙන් වාර්තා වන අතර නාගරික සහ වතු අංශ පිළිවෙළින් ඊළඟ ස්ථාන ගන්නා බවත් දිස්ත්‍රික් මට්ටමින් වැඩිම නිවාස ඒකක සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර අඩුම සංඛ්‍යාව මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් අදාළ වාර්තාව මගින් අනාවරණය කර ඇත.
මෙරට නිවාසවලින් බහුතරය තනි නිවාස වන අතර ඉන් 82.2%ක් තනි මහල් නිවාස වන බවත් අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇති අතර නිවාසවලින් සියයට 84.69ක අයිතිය එම නිවෙස්වල වෙසෙන සාමාජිකයින් සතු වීම විශේෂත්වයකි.
එමෙන්ම මෙහී ඇති වැදගත්ම කරුණ නම් මෙරට සමස්ත නිවාස ඒකකවලින් සියයට 10.5ක් තනි පුද්ගල නිවාස ලෙස වාර්තා වීමය.
ඒ අනුව පුද්ගලයින් 640,704ක් තනිව ජීවත්වන අතර ඉන් 370,229ක්ම අවුරුදු 60 හෝ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බවත් මෙම වයෝවෘද්ධ පිරිසෙන් බහුතරය 71.3%ක් කාන්තාවන් බවත් මෙම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.
නිවාස ඒකකවලින් 92.2%කට තම නිවාස හෝ පරිශය තුළම පානිය ජලය ලබා ගැනීමේ පහසුකම් පවතින බවත් ජාතික විදුලිබල පද්ධතිය හරහා විදුලිය ලබා ගන්නා නිවාස ප්‍රතිශතය 2012දී පැවැති 87.0%සිට 98.00% දක්වා ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දී ඇති එම වාර්තාවේ සඳහන්ව ඇත්තේ භූමිතෙල් භාවිතය 1.6% දක්වා පහත වැටී ඇති බවය.
ආහාර පිසීම සඳහා නිවාස ඒකකවලින් සියයට 55.4%ක් දර භාවිත කරන අතර 42.4%ක් ගෑස් භාවිතා කරන බවත් එම වාර්තාව මගින් පෙන්වා දී ඇති අතර නිවාස ඒකකවලින් 62%කට නිවස තුළම සනීපාරක්ෂක පහසුකම් ඇති බවත් 99.6%ක්ම ජල මුද්‍රිත වැසිකිළි භාවිතා කරන බවත්ය.
තවද ගෘහ කාණ්ඩවලින් 93.8%කට භාවිතයට ජංගම දුරකතන පවතින බවත් අදාළ වාර්තාව මගින් පෙන්වා දි තිබේ.
සෞඛ්‍ය සහ ආබාධිතභාවය
ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රදාන අභියෝගයක් ලෙස බෝ නොවන රෝග ව්‍යාප්තිය තවදුරටත් පවතින බව නවතම දත්ත වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ පුද්ගලයින් 3,223,413 දෙනෙකු විවිධ මට්ටමේ ක්‍රියාකාරි අපහසුතාවලින් පෙළෙන බව වාර්තා වන බවත් මෙය ජනගහනයෙන් සෑම පුද්ගලයින් 1,000 දෙනෙකුටම 35 දෙනෙකු වන අනුපාතයක් බවත් එමගින් සඳහන් කර ඇත.
2024 දත්තවලට අනුව මෙරට සමස්ත ජනගහනයෙන් 19.2%ක් (පුද්ගලයින් මිලියන 4.187)ක් බෝ නොවන රෝගවලින් පීඩා විඳින බව අනාවරණය වී ඇති අතර ස්වයං වාර්තාගත තොරතුරු අනුව වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වනුයේ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව තුළින් බවත් අදාළ වාර්තාව මගින් අනාවරණය කර තිබේ.
මෙම රෝගී තත්ත්වයන් ප්‍රධාන වශයෙන් කාන්තාවන් සහ වැඩිහිටි පුද්ගලයින්ගෙන් වාර්තාවන අතර අවුරුදු 60 සහ ඊට වැඩි ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් අවම වශයෙන් එක් නිදන්ගත රෝගයකින් හෝ පෙළන බවට හඳුනාගෙන ඇත.
අධ්‍යාපන මට්ටම ඉහළ යාමත් සමග බෝ නොවන රෝග වාර්තාවීම ක්‍රමයෙන් අඩුවන බව දත්ත මගින් නිරීක්ෂණය වී ඇති බවත් මෙයින් පෙනී යන්නේ සමාජය තුළ සෞඛ්‍ය සාක්ෂරතා පරතයක් පවතින බවත් අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
සංක්‍රමණ
සංක්‍රමණ සම්බන්ධව අදාළ වාර්තාව මගින් පේනා දී ඇත්තේ මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 13ක්ම තම උපන් ස්ථානයෙන් බැහැරව වෙනත් ප්‍රදේශවල පදිංචිවූ ජීව කාලීන සංක්‍රමණිකයන් ලෙස හඳුනාගෙන ඇති බවය.
වැඩිම ශුද්ධ සංක්‍රමණික පිරිසක් පැමිණ ඇති දිස්ත්‍රික්ක ලෙස ගම්පහ (357,528) කොළඹ (191,524) වාර්තා වන බවත් වර්තමානය වන විට සංක්‍රමණිකයින්ගේ ප්‍රදානතම ගමනාන්තය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇති බවත් අදාළ වාර්තා වේ සඳහන් ව තිබේ.
මහනුවර, මාතර, නුවරඑළිය සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් ජනතාව ජීව කාලීනව පිටතට සංක්‍රමණය වී ඇති බව නිරීක්ෂණය වන බවත් කුරුණැගල දිස්ත්‍රික්කය තුළට සංක්‍රමණය වීම සහ පිටතට යාම සමාන මට්ටමක පවතින බවත් අදාළ වාර්තාවේ සඳහන්ව ඇත.
වවුනියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන උතුරු ඵලාතේ දිස්ත්‍රික්කවල ධනාත්මක ජීව කාලීන සංක්‍රමණ රාටාවක් පෙන්නුම් කරන බවත් පෙර පදිංචි දිස්ත්‍රික්කය අනුව සංක්‍රමණ සැලකීමේදී ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්ක දෙකෙහිම මිලියන 0.5කට අධික සංක්‍රමණිකයින් පිරිසක් වාර්තා වන බවත් අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට සංක්‍රමණය වීමේ අගයද ඉහළ මට්ටමක පවතින බවත් පෙන්වා දී ඇති අදාළ වාර්තාව අවම වශයෙන් පිටතට සංක්‍රමණය වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් බවත් පෙන්වා දි ඇත.
තවද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් අවම ඇතුළත සංක්‍රමණ වාර්තා වන බවත් තාවකාලිකව විදේශගතව සිටින ගෘහස්ත කාණ්ඩවලට අයත් පුද්ගලයින් සංඛ්‍යාව 672, 249ක් බවත් මෙම පිරිසෙන් බහුතරය එනම් 61.3%ක් පුරුෂයින් බවත් අනාවරණය කර තිබේ.
ශ්‍රම බලකාය සහ රැකියා නියුක්තිය
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පුරුෂ සහභාගීත්වය ප්‍රමුඛ මට්ටමක පවතින බවත් කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය තවදුරටත් අවම මට්ටමක පවතින බවද මෙම නවතම දත්ත වාර්තාව පෙන්වා දී තිබේ.
2012 සාපේක්ෂව රැකියා නියුක්තියේ වර්ධනයක් පෙන්නුම් කළද තරුණ විරැකියාව තවදුරටත් ප්‍රධාන ගැටලුවක්ව පවතින බවත් මෙමගින් පෙන්වා දී ඇත.
රටෙහි සමස්ත ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය සියයට 47.3ක් බවත් මෙහිදී පුරුෂ සහභාගීත්වය සියයට 67.4ක් වැනි ඉහල අගයක් ගන්නා බවත් පෙන්වා දී තිබේ.
කෙසේ නමුත් කාන්තාව සහභාගීත්වය පවතින්නේ සියයට 28.9ක් වැඩි අඩුම මට්ටමක බවත් අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත.
ආර්ථික වශයෙන් ක්‍රියාශීලි ජනගහනයෙන් සියයට 68ක් පුරුෂයින් වන බවත් ආර්ථික වශයෙන් ක්‍රියාශීලි නොවන ජනහගනයෙන් 70.6ක්ම නියෝජනය කරනුයේ කාන්තාවන් බවත් මෙම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
එමෙන්ම සේවා නියුක්ත පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 7.68ක් බවත් ඉන් සියයට 69.3ක්ම පුරුෂයින් බවත් අදාළ වාර්තාවේ සඳහන්ව තිබේ.
සමස්ත විරැකියා අනුපාතය සියයට 6ක් ලෙස වාර්තා වන අතර වැඩිම විරැකියාවක් වාර්තා වන්නේ අවුරුදු 20-24ත් අතර තරුණ කාණ්ඩයෙන් බවත් මෙමගින් අනාවරණය කර තිබේ.
තවද පොදුවේ ගත් කළ රැකියා නියුක්ති අනුපාතය සියයට 94ක් වන බවත් විරැකියා අනුපාතය සියයට 6ක් බවත් සඳහන් කර ඇති මෙම වාර්තාව තවදුරටත් පෙන්වා දී ඇත්තේ වැඩකරන වසසේ පසුවන ජනගහනයෙන් සියයට 52ක් ආර්ථික වශයෙන් ක්‍රියාශීලි නොවන පිරිස ලෙස හඳුනාගෙන ඇති බවය.
මීට ප්‍රධානම හේතුව ලෙස ගෘහස්ථ වගකීම් අධ්‍යාපන කටයුතු සහ වයස්ගත වීම බවත් අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

