Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මගී ප්‍රවාහන බලපත්‍රවලට වලංගු කාලයක් හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ

මගී ප්‍රවාහන බලපත්‍රවලට වලංගු කාලයක් හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ

මගී ප්‍රවාහන බලපත්‍රවලට වලංගු කාලයක් හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ

මගී ප්‍රවාහන බලපත්‍ර ජනතාවට අයත් බැවින් ඒ සඳහා බලපත්‍ර කාල සීමාවක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගිය 08 වෙනිදා රැස්වූ අවස්ථාවේදීය.

එහිදී 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ අංක 2471/68 දරන අතිවිශේෂ ගැසට්පත්‍රයේ පළ කරන ලද 2026 ජනවාරි 17 දිනැති නියෝග සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ යම් තැනැත්තෙකු වෙත ප්‍රදානය කරනු ලැබූ මගී සේවා අවසර පත්‍රයක්, වෙනත් යම් තැනැත්තෙකුට පැවරිය නොහැකි වූ අතර මේ නිසා බස්රථ හිමියන්ට මෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවට විවිධ කළමනාකරණ ගැටලුවලට මුහුණදීමට සිදුවිය.

මීට විසඳුමක් ලෙස 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත මගින් ඉහත විධිවිධාන සංශෝධනය කළ අතර ඒ අනුව මගී සේවා අවසර පත්‍රයක් වෙනත් පාර්ශ්වයක් වෙත පැවරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කිරීමට කටයුතු කරන ලදී.

එම නෛතික විධිවිධාන යටතේ මගීසේවා අවසර පත්‍රයක් පැවරීම සඳහා අදාළ විය යුතු නීතිමය නිර්ණායක ඇතුළත් කරමින් 2026 ජනවාරි 17 දිනැති, අංක 2471/68 දරන අතිවිශේෂ ගැසට්පත්‍රයේ නියෝග ප්‍රකාශයට පත් කර තිබූ අතර කරුණු සළකා බැලූ කාරක සභාව විසින් මෙම නියෝග අනුමත කරන ලදී.

පවතින ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව අදහස් පළ කළ කාරක සභා සභාපතිවරයා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබාගැනීමට කටයුතු කර තිබියදීත් ඇතැමුන් බස් වර්ජනයක් දියත් කරමින් ජනතාව අපහසුතාවට පත් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවය.

රජය හැමවිටම බස්හිමියා, මගිී ජනතාව ඇතුළු සියලු පාර්ශ්ව සැලකිල්ලට ගනිමින් තීරණ ගන්නා බවත් ඒ අනුව අසාධාරණ ලෙස ජනතාව අපහසුතාවට පත්කරමින් කටයුතු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතැබිය යුතු බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කළේය.

මාර්ග හා මංසන්ධි පුළුල් කිරීමේ ඇතැම් ව්‍යාපෘති ප්‍රමාදවීම් පිළිබඳව කාරක සභා සභාපතිවරයාගේ අවධානය යොමුවූ අතර අදාළ අනෙකුත් ආයතන සමඟ මනා සම්බන්ධීකරණයෙන් ඒවා කඩිනම් කිරීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අංශවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ගැටලු මෙහිදී ගරු මන්ත්‍රීවරයන් විසින් කාරක සභා සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී.

මේ පිළිබඳ කරුණු විමසූ කාරක සභා සභාපතිවරයා අවශ්‍ය පියවර ගැනීම සදහා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Exit mobile version