ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර දෙවන වටයේ ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීම ඉකුත් සිකුරාදා (20) කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
එහිදී දෙරට අතර පවතින ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, 2030 වසර වන විට ද්විපාර්ශ්වික වෙළඳාම ඇමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා සහ බ්‍රසීල විදේශ අමාත්‍යාංශයේ ආසියා සහ පැසිෆික් කලාපීය ලේකම් තානාපති සූසන් ක්ලීබෑන්ක් යන මහත්මීන්ගේ සම සභාපතිත්වයෙන් පැවැති මෙම සාකච්ඡා මගින් 2022 වසරේ සිට ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කෙරුණි.
ආරක්ෂක, නීතිය ක්‍රියාත්මක කිරීම, මිනිස් ජාවාරම් මර්දනය, ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ රාජ්‍යතාන්ත්‍රික පුහුණුව යන ක්ෂේත්‍රවලට අදාළ ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමට මෙහිදී තීරණය කර ඇත.
එසේම බ්‍රසීල සහයෝගීතා නියෝජිතායතනයේ දායකත්වයෙන් කිරි පට්ටි පාලනය සහ උක් වගාව ආශ්‍රිත තාක්ෂණික ව්‍යාපෘති සඳහා ඉදිරියේදී අත්සන් තැබීමටද දෙරටම සූදානමින් සිටී.
මෙම හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉදිරි බ්‍රසීල සංචාරය පිළිබඳවද මූලික සැලසුම් සාකච්ඡා වී ඇති අතර, දෙරටේ පාර්ලිමේන්තු මිත්‍රත්ව කණ්ඩායම් යළි පණ ගැන්වීමටද එකඟ වී තිබේ.
බ්‍රසීල පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජිත කණ්ඩායමක් ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත අතර, කෘෂිකර්මය, වරාය සහ නාවික කටයුතු මෙන්ම ක්‍රීඩා යන අංශවලින් නව සහයෝගීතා අවස්ථාද හඳුනාගෙන ඇත.
අනතුරුව තානාපති සූසන් ක්ලීබෑන්ක් මහත්මිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද හමුවී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව සිය කැමැත්ත පළ කර තිබේ.

