ලොව විශාලතම LNG (ද්‍රව ස්වභාවික ගෑස්) සංකීර්ණයක් වන කටාර්හි ‘රාස් ලෆාන්’ වෙත ඉරානය විසින් පහර දීමෙන් පසුව ලෝකයේ ගෑස් මිල ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබේ.
මේ අනුව, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, යුරෝපයේ හා එක්සත් රාජධානියේ ගෑස් තොග මිල ගණන් සියයට 25 කින් පමණ ඉහළ ගොස් තිබෙන බවය.
ලොව පුරා පිළිගත් බලශක්ති පර්යේෂණ ආයතනයක් වන ‘වුඩ් මැකෙන්සි’ පෙන්වා දෙන්නේ මෙම ගෑස් තොග මිල ඉහළ යෑම දිගු කාලීනව වුව පැවතිය හැකි බවය.
ෂෙල් සමාගමේ ගෝලීය පෙර දැක්මට අනුව කියවෙන්නේ වත්මන් භූ දේශපාලනික කම්පනය නිසා දිගුකාලීන වෙළෙඳපොළ අස්ථාවරත්වයක් ඇති කරන බවය.
ලොව විශාලතම LNG ගැණුම්කරු වන ජපානයේ ජෙරා සාමගමේ විධායක නිලධාරියා වන රයෝසුකේ සුගාරු පෙන්වා දෙන්නේ, ගෑස් ටොන් මිලියන 90 දක්වා මැද පෙරදිග සැපයුම් අවදානමකට ලක්වීමට නියමිත බවය.
දිගින් දිගට ම ගැටුම් පැවතීමෙන් ගෑස් අපනයන කිරීම් නවත්වා දැමීමට සිදුවිය හැකි බවට ‘කටාර් එනර්ජි’ හි ප්‍රධාන විධායක නිලධාරී සාද් අල් කාබි අනතුරු අඟවයි.
ජර්මනියේ ආර්ථික අමාත්‍ය කැතරිනා රීච් අනතුරු අඟවන්නේ, බලශක්ති මිල ගණන් ඉහළට යෑම හේතුවෙන් සුවිශාල වූ යුරෝපයේ ආර්ථිකයෙන් බලශක්ති සමාගම් යුරෝපා රටවලින් ඉවත වෙනත් වෙළෙඳපොළ වෙත ඇදී යනු ඇති බවය.
තෙල් සහ ගෑස් මිල ඉහළ යාම සහ එම මිල ගණන් මෙම මට්ටම්වලම දිගටම පැවතුනහොත් උද්ධමනය සියයට 5 දක්වා ඉහළ යා හැකි බව විගණන, බදු සහ ආර්ථික උපදේශන සමාගමක් වන ‘RSM UK’හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ තෝමස් අනාවැකි කියයි.
එසේම, බ්‍රිටිශ් පෙට්‍රෝලියම් (BP) පවසන්නේ සිය සමාගම සිය වියදම් ඉදිරියේදී කපා හරින බවය.

