ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන එයාර්බස් ගණුදෙනුවෙන් ලද අල්ලස් මුදලින් රුපියල් මිලියන 60ක මුදලක් එවක ජනපති මහින්ද රාපක්ෂ මහතා වෙත ලබාදුන් බව අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු ඉදිරිපත් කළ අවස්ථාවෙදි මෙම කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.
ඊට අමතරව සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාටද රුපියල් මිලියන විස්සක් ලබා දී ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කපිල චන්ද්‍රසේන මහතාව අප්‍රේල් 02 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ රියෙන්සි අර්සකුලරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, සිය සේවා දායකයාගෙන් ප්‍රකාශ ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ්‍ය ජනරාල් රංග දිසානායක මහතා විසින් කපිල චන්ද්‍රසේන යන අය වෙනත් කාමරයකට කැඳවා ඔහුට තර්ජනය කර තිබෙන බවයි.
විශේෂයෙන් එහිදී ඔහු ප්‍රකාශ කළේ වෙනත් නඩුවක සාක්ෂිකරුවෙකු සියදිවි හානි කරගත් බව ප්‍රකාශ කොට කපිල චන්ද්‍රසේන මහතාටද එම ඉරණමම ඇත්වෙනු ඇති බවට තර්ජනය කළ බවයි.
අල්ලස් කොමිසම එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර කපිල චන්ද්‍රසේන ලබාදීමට නියමිත දිවුරුම් ප්‍රකාශයේ තිබුණු කරුණු පිළිබඳ ප්‍රශ්න කිරීමට රංග දිසානායක මහතා මහතා ඔහු සමග සාකච්ඡා කළ බවත් අධිකරණය ඉදිරියේ සදහන් කළා.
එහිදී සියලු කරුණු නොසඟවා පවසන ලෙස රංග දිසානායක මහතා කපිල චන්ද්‍රසේන හට ප්‍රකාශ කළ බවත් ඒ හැරුණුකොට වෙනත් කිසිඳු තර්ජනයක් සිදුනොකළ බවත් අල්ලස් කොමිසම් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නිලධාරින් අධිකරණය වෙත පෙන්වා දුන්නා.
අදාළ සාක්ෂි ලබාගන්න අතරතුර කපිල චන්ද්‍රසේන සමග පැමිණි නීතිඥ උදාර මුහන්දිරම්ගේ විසින් පවසා ඇත්තේ කපිල චන්ද්‍රසේන විසින් සාක්ෂි සහිත දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් එම දිවුරුම් ප්‍රකාශය ලබාගෙන ඔහුව සැකකරුවෙකු ලෙස නම් නොකර සාක්ෂිකරුවෙකු ලෙස නම් කළ යුතු බවට යෝජනා කරන බවයි.

