චීන ජාතිකයන් පිරිසක් අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක සැක කටයුතු ලෙස රැඳී සිටිමින් මාර්ගගත (Online Scams) ඔස්සේ පවත්වාගෙන ගිය මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් සඳුදා (16) එවැනි ස්ථාන 05ක් වටලා විදේශිකයන් 134 දෙනෙක්, දුරකතන හා පරිගණක උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
චීන ජාතිකයන් 126ක්, මියන්මාර් ජාතිකයන් 04 හා තායිවාන් ජාතිකයන් 04ක් අත්අඩංගුවට ගත් විදේශිකයන් අතර සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පුද්ගලයන් රවටා මුදල් වංචා කිරීමට යොදාගත් ලැප්ටොප් පරිගණක 96ක්, ජංගම දුරකතන 194ක්, මේස මත තබන පරිගණක 35ක් ඇතුළු තවත් තාක්ෂණික උපකරණ රැසක්ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවල නිරත වූ බවට ලැබුණු තොරතුරු මත වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ බුද්ධි නිලධාරීන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඒකාබද්ධව අනුරාධපුර නගරය සහ මිහින්තලේ ප්‍රදේශවල පිහිටි ලැගුම්හල් පහක් තුළ මෙම විශේෂ වැටලීම් සිදු කර ඇති බව ආගමන විගමන නිලධාරියකු සඳහන් කළේය.
මෙම විදේශිකයන් ලැගුම්හල් එකවර මුදල් ගෙවා ලබාගෙන පිටස්තර කිසිවකුටත් එහි ඇතුළුවීමට තහනම් කරමින් ෙමම වංචාවන් සිදුකර ඇති බව පෙනී ගොස් ඇත. කණ්ඩායම් වශයෙන් රටින් රට සංචාරය කරමින් මෙම පිරිස වංචාවල නිරතව සිටින බවද පෙනී ගොස් තිබේ.

