ඉදිරියේදී පැන නැගෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විමසමින්, මාස 03ක කාලයක් සඳහා සම්මත ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් පරිබාහිරව ඛනිජතෙල් හා ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන, ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LP ගෑස්) සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
මැදපෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින භූ‑දේශපාලනික නොසන්සුන්තාව සහ සන්නද්ධ ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ මේ වන විට දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාව ආනයනික ඛනිජතෙල් හා ඛනිජතෙල් ආශ්‍රිත නිෂ්පාදන, ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LP ගෑස්) සහ ගල් අඟුරු මත සම්පූර්ණයෙන්ම යැපෙන බැවින්, එම තත්ත්වය රටේ බලශක්ති සැපයුමට සහ සුරක්ෂිතතාවට ඍජු හා ක්ෂණික බලපෑමක් සිදු කරනු ඇත.
පවතින ගැටුම්වල ඍජු ප්‍රතිඵලයක් ලෙස නැව්ගත කිරීම් අවලංගු වීම, රක්ෂණ සේවා සපයන්නන් රක්ෂණාවරණ ලබා දීම ප්‍රතික්ෂේප කිරීම, සැපයුම්කරුවන් දිගුකාලීන ගිවිසුම්වලට එළඹීමට අකමැත්තක් දැක්වීම ආදී හේතූන් මත අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කිරීම සඳහා තාවකාලික සහ නම්‍යශීලී ප්‍රසම්පාදන රාමුවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන බවයි සඳහන් වන්නේ.

