‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් මේ වසරේ (2026) සිට එළඹෙන 2029 වර්ෂය දක්වා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියනය බැගින් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ.
මෙම අරමුදල් සාර්ව ආර්ථික ස්ථායීතාව, පෞද්ගලික අංශය මූලික කරගත් වර්ධනය, අධ්‍යාපනය සහ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම සඳහා ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්දා මහතා ප්‍රකාශ කරයි. පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේදී අගමැතිනිය හා පසුගියදා පැවැති හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්දා මහතා සහ අගමැතිනි හරිනි අමරසූරිය මෙණෙවිය අතර පැවති මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාවේ පශ්චාත් සුළි කුණාටු ප්‍රතිසාධන කටයුතු, ඇතුළත් කරගත් ආර්ථික වර්ධනය සහ කාන්තා සමානාත්මතාව ඉදිරියට ගෙන යෑම සඳහා වන කැපවීම යළි තහවුරු කර ඇත.
‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයට ප්‍රතිචාර වශයෙන්, හානියට පත් යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමට සහ පීඩාවට පත් ජීවනෝපායන් සඳහා සහය වීමට ආසියානු සංවර්ධන බැංකුව හදිසි ආධාරයක් කඩිනමින් ලබාදීමට පියවර ගෙන තිබේ.
2026 සිට 2029 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩි මූල්‍ය ආධාර සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානමින් සිටින අතර මෙම අරමුදල් අංශ කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් යොදාගැනීමට නියමිතය.

