රුපියල් පනස් හත් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (13) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන සිටිති.
මොහු කුරුණෑගල, මාවතගම, අඹකොටේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු ඊයේ (13) අලුයම 12.30ට ඩුබායි සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 390 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02ක් තුළ, විදේශීය නිෂ්පාදිත” මැන්චෙස්ටර්” සහ ”ප්ලැටිනම්” වර්ගවල දුම්වැටි 38,000ක් අඩංගු දුම්වැටි කාටූන් 190ක් සගවා ගෙන සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි.
මේ වනවිට මොහු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා එළඹෙන 03/18 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

