Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කැලෑ නීතියට ලෝකය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි – චීනයේ විදෙස් අමාත්‍ය

කැලෑ නීතියට ලෝකය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි - චීනයේ විදෙස් අමාත්‍ය

කැලෑ නීතියට ලෝකය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි - චීනයේ විදෙස් අමාත්‍ය

මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුද තත්ත්වය දැඩි ලෙස හෙළා දුටු චීනයේ විදෙස් අමාත්‍ය වැන්ග් යි පවසා ඇත්තේ මෙම ගැටුම “කිසිසේත්ම සිදු නොවිය යුත්තක්” බවත් වහාම සටන් විරාමයක් අවශ්‍ය බවත්ය.

චීනයේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මුළු කලාපයම මේ වන විට “ගිනිදැල්වලට හසුව ඇති” බවය.

“මෙය කිසිදු පාර්ශවයකට වාසිදායක නොවන, සිදු නොවිය යුතුව තිබූ යුද්ධයක්,” ලෙසද ඔහු අවධාරණය කර තිබේ.

පසුගිය පෙබරවාරි 28වන දින අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරත් සමඟ මෙම යුදමය තත්ත්වය උත්සන්න විය.

ඉරානය විසින් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයේ පවතින අමෙරිකානු ඉලක්ක වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් ඊට ප්‍රතිචාර දක්වයි.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය ලෙබනනයටද ප්‍රහාර එල්ල කරමින් සිටියි.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමද චීනය මීට පෙර දැඩි ලෙස හෙළා දැක තිබුණි.

“ශක්තිවන්තයා සැමවිටම නිවැරදි නැහැ, කැලෑ නීතියට ලෝකය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි. හිතුමනාපයට බලය පාවිච්චි කිරීමෙන් තමන්ගේ ශක්තිය ඔප්පු වන්නේ නැහැ.” යනුවෙන්ද ඔහු පවසා ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ මීළඟ නායකයා තේරීමට තමන්ට අයිතියක් ඇති බව ප්‍රකාශ කිරීම සහ ඉරානය “කොන්දේසි විරහිතව යටත් විය යුතු” බවට කළ ඉල්ලීම සම්බන්ධයෙන්ද චීනය සිය අප්‍රසාදය පළ කර ඇත.

මැදපෙරදිග කලාපයේ සැබෑ අයිතිකරුවන් එහි වෙසෙන ජනතාව බවත්, එරටවල අභ්‍යන්තර පාලනය තීරණය කළ යුත්තේ කලාපීය රටවල් විසින් ස්වාධීනව බවත් වැන්ග් යී පවසයි.

“කුමන්ත්‍රණ මගින් පාලන තන්ත්‍රයන් වෙනස් කිරීමට උත්සාහ කිරීම ජනතාව කිසිසේත් පිළිගන්නේ නැහැ,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Exit mobile version