ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ වැදගත් පියවරක් තබමින්, විදේශීය වෘත්තිකයන් සඳහා වන ප්‍රථම ‘ඩිජිටල් නෝමඩ්’ වීසා බලපත්‍රය නිකුත් කිරීමේ නිල උත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (26) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිල්ක් රූට් (Silk Route) පැමිණීමේ පර්යන්තයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන හරහා ලොව පුරා විසිරී සිටින තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, නිදහස් මාධ්‍යවේදීන් සහ ව්‍යවසායකයන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් සිය ගෝලීය සේවා සැපයීමට නිල අවසරය හිමිවේ.
මෙම අවස්ථාවට සහභාගී වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ, 21වන සියවසේ ලෝක ශ්‍රම බලකාය වැළඳ ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බවත්, මෙම නව වීසා ක්‍රමය හරහා මෙරටට වෘත්තීය මට්ටමේ විදේශිකයන් ආකර්ෂණය කරගැනීමට හැකිවන බවත්ය. එමෙන්ම ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ සම-සේවා අවකාශයන් (Co-working spaces) ප්‍රචලිත කිරීම හරහා ශ්‍රී ලංකාව හුදු සංචාරක ගමනාන්තයකින් එහා ගිය, වෘත්තීයමය වශයෙන් වර්ධනය විය හැකි කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගීම රජයේ අපේක්ෂාව බවයි. ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ (Lonely Planet) වර්ගීකරණයට අනුව 2026 වසරේ හොඳම ගමනාන්තයක් ලෙස යාපනය තේරී පත්වීමද මෙම වැඩසටහනට ඉහළ වටිනාකමක් එක් කරන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලබන අයදුම්කරුවන්ට වසරක කාලයක් සඳහා වලංගු, නැවත අලුත් කළ හැකි වීසා බලපත්‍රයක් හිමිවන අතර, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ටද මෙරට රැඳී සිටීමටත් දරුවන්ට පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලැබීමටත් පහසුකම් සැලසේ. මසකට අමෙරිකානු ඩොලර් 2,000කට වඩා වැඩි ආදායමක් ලබන වෘත්තිකයන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර, ඔවුන් මෙරට බැංකු පද්ධතිය සහ දේශීය සේවා භාවිතා කිරීම හරහා මෙරට ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබා දෙනු ඇත. මෙමගින් දේශීය තාක්ෂණික ප්‍රජාවට ජාත්‍යන්තර වෘත්තිකයන් සමඟ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, ශ්‍රී ලංකාවේ සැබෑ විභවය ලෝකය හමුවේ ප්‍රචාරය කිරීමටත් සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය වේ.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය, ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයට ගැළපෙන පරිදි සිය අනන්‍යතාවය අලුත් කර ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකිය.
ඉදිරි මාස කිහිපය තුළ ලෝක වෙළඳපොළ ඉලක්ක කරගනිමින් මෙම වීසා බලපත්‍රය ප්‍රවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති අතර, එමගින් විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීම මෙන්ම මෙරට ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමද අපේක්ෂා කෙරේ.

