Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රී ඉදිරිපත් කළ පෙත්සමකට රිට් ආඥාවක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රී ඉදිරිපත් කළ පෙත්සමකට රිට් ආඥාවක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රී ඉදිරිපත් කළ පෙත්සමකට රිට් ආඥාවක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස මිනීමැරීම යන චෝදනා යටතේ ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලකට අදාළව හිටපු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2022 වසරේ කළ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය ඊයේ(03) රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක තීන්දුව දෙමින් පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ධම්මික ගනේපොල, මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

කෙසේවෙතත් නව සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින අදාළ පුද්ගලික පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට මෙම නඩු තීන්දුව බාධාවක් නොවන බව විනිසුරු මඩුල්ල පැවසීය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සිරිල් ගාමිණී පියතුමා සහ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයකු බවට පත් වූ ජේසුරාජ් ගනේෂන් යන අය නම් කර තිබේ.

පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා කියාසිටින්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස මිනීමැරීමේ චෝදනා එල්ල කරමින් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු වග උත්තරකරුවන් විසින් තමන්ට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ 2022 වසරේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් ඉදිරිපත් කළ නිගමන පදනම් කරගෙන මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව පෙත්සම්කාර මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියි.

එම පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් සෑහීමකට පත්වූ මහෙස්ත්‍රාත්වරයා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමන් වෙත සිතාසි නිකුත් කර තිබෙන බවත් ඔහු චෝදනා කරය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිගමන සාක්ෂි වශයෙන් සැලකිය නොහැකි බව පෙන්වා දෙන පෙත්සම්කරු ඒවා පදනම් කරගෙන මෙම පෞද්ගලික පැමිණිල්ල පවත්වාගෙන යාමට මහෙස්ත්‍රාත්වරයා ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කළේය.

ඒ අනුව තමන්ට එරෙහිව වග උත්තරකරුවන් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළව සිතාසි නිකුත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Exit mobile version