2026 වසරේ මුල් මාස තුන (ජනවාරි – මාර්තු) සඳහා කිසිදු විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
එම නිවේදනයෙහි සඳහන් වන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිසි වේලාවට විධිමත් යෝජනාවක් ඉදිරිපත් නොකිරීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
මෙම වසරේ පළමු කාර්තුව සඳහා යෝජනාව පසුගිය නොවැම්බර් 14 වනදා වන විට ලබා දිය යුතු වුවත්, ලංවිම එය ඉදිරිපත් කර ඇත්තේ දෙසැම්බර් 29 වනදා බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
ඉදිරිපත් කළ මුල් යෝජනාවේ පවතින දෝෂ නිවැරදි කර ජනවාරි 8 වනදාට පෙර ලබා දෙන ලෙස කොමිසම දැනුම් දුන්නද, ලංවිම එය තවමත් ඉටු කර නොමැති බව එම සභාව සඳහන් කළා.
කාර්තුවේ ඉතිරිව ඇති ඉතා කෙටි කාලය සඳහා ගාස්තු සංශෝධනයක් සිදු කිරීමෙන්, විදුලි බිල ඉහළ ප්‍රතිශතයකින් වෙනස් වී ජාතික ආර්ථිකයට අහිතකර බලපෑම් ඇති විය හැකි බව කොමිසම නිරීක්ෂණය කර තිබෙන බව එම නිවේදනයෙහි සඳහන්.
පළමු කාර්තුවේ ගාස්තු නොවෙනස්ව පවතින අතර, 2026 වසරේ දෙවන කාර්තුව සඳහා වන ගාස්තු සංශෝධන යෝජනාව එළඹෙන පෙබරවාරි මස 13 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කර තිබේ.

