Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පැලෝපීය නාලය ගැන කියා චන්න ජයසුමනට කණේ පහරක්

පැලෝපීය නාලය ගැන කියා චන්න ජයසුමනට කණේ පහරක්

පැලෝපීය නාලය ගැන කියා චන්න ජයසුමනට කණේ පහරක්

සෞඛ්‍ය අධ්‍යාපනය හය ශ්‍රේණියේ සිට නිවැරදිව ඉගෙන්නුවොත්, පැලෝපීය නාලය මිරිකා මව්වරුන් වඳ කිරීමට නොහැකි බවට දරුවන්ට ඉගෙනගත හැකි බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසනවා.

රූපවාහිනී නාලිකාවක අද (14) පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, රටේ මව්වරුන් 4,000ක් වඳ කළ බවට වෛද්‍ය සාෆි ශිහාබ්ට එරෙහිව එල්ල වූ චෝදනා විද්‍යාත්මකව අසත්‍ය බවත්, එවැනි මිථ්‍යාවන්ට ජනතාව හසු නොවීමට නම් නිවැරදි සෞඛ්‍ය අධ්‍යාපනයක් දරුවන්ට ලබා දිය යුතු බවයි.

මෙහිදී නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ ප්‍රකාශයට බාධා කරමින් චන්න ජයසුමන මහතා ප්‍රශ්න කර සිටියේ, “පැලෝපීය නාලය මිරිකා වඳ කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් පවා පෙන්වා දී තිබියදී වෛද්‍යවරයෙකුද වන අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එය ප්‍රතික්ෂේප කරන්නේ මූලික වෛද්‍ය විද්‍යාවවත් නොදන්නා නිසාවෙන්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින්, “සාෆි වඳ කළා කියලා එදා ඔබලාගේ ආණ්ඩුවක් යටතේ ඔප්පු කළාද? සාෆි දැන් හිරේද? සිංහල මව්වරුන් වඳ කළා කියන කතාව මූලිකවම ප්‍රචාරය කළේ ඔබ නේද?” යනුවෙන් නලින්ද ජයතිස්ස මහතා ප්‍රශ්න කළා.

ඉන් අනතුරුව බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් එම චෝදනා ඔප්පු කිරීමට කටයුතු නොකළේ මන්දැයි අමාත්‍යවරයා එහිදී චන්න ජයසුමන මහතාගෙන් විමසා සිටියා.

චන්න ජයසුමන මහතා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ එවකට තමන් නීතිමය ක්‍රියාවලියට බලපෑම් කිරීමට ඉදිරිපත් නොවූ බවයි.

මේ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා රජය පාසල් පද්ධතිය “අසභ්‍යකරණය” කරන බවටත්, සමලිංගික නැමියාවන් දරුවන් තුළ ඇති කරන බවටත් විමල් වීරවංශ සහ සජිත් ප්‍රේමදාස වැනි දේශපාලනඥයන් එල්ල කරන චෝදනා නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මෙහිදී දැඩිව ප්‍රතික්ෂේප කළා.

මෙහිදී 6 ශ්‍රේණියේ සිංහල සහ සෞඛ්‍ය පෙළපොත් පෙන්වමින් අමාත්‍යවරයා අභියෝග කර සිටියේ, “මේ පොත්වල කොතැනක හෝ අසභ්‍ය දෙයක් හෝ දරුවන්ව සමලිංගිකත්වයට පොළඹවන යමක් තිබේ නම් පෙන්වන ලෙසයි.

හය වසරේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇති සුළු තාක්ෂණික දෝෂයක් පදනම් කරගෙන මුළු අධ්‍යාපන පද්ධතියම විනාශ කිරීමට ඇතැම් පිරිස් බොරු බියක් පතුරවන බවත් ඔහු පැවසුවා.

2026 වසර සඳහා අධ්‍යාපන යටිතල පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 17,542ක් සහ මානව සම්පත් සංවර්ධනයට මිලියන 1,026ක් රජය වෙන් කර ඇති බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළා.

රජයේ ප්‍රතිපත්තිය වන්නේ ව්‍යුහමය වෙනසක් මිස විෂය මාලා දේශපාලනීකරණය කිරීම නොවන බවත්, විෂය මාලා සැකසීම සම්පූර්ණයෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රවීණයන්ට පවරා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

– news 19

Exit mobile version