දශක දෙකහමාරකට අධික කාලයක් මහනුවර නගරයේ පදික වේදිකා ආක්‍රමණය කරමින් පවත්වාගෙන ගිය අනවසර වෙළඳාම් ඉවත් කර පදිකයන්ට නිදහසේ ගමන් කිරීමට ඉඩ සැලසීමේ විශේෂ වැඩපිළිවෙළක් ජනවාරි 01 වනදා සිට ආරම්භ වුණා.
මහනුවර මහ නගර සභාවේ සියලු සභිකයන්ගේ එකඟතාවය මත ක්‍රියාත්මක වූ මෙම තීරණයට අනුව, ඊයෙ (02)නගරයේ ප්‍රධාන වීදි රැසක අනවසර ඉදිකිරීම් සහ වෙළඳාම් ඉවත් කිරීමට නාගරික වැටලීම් අංශය පියවර ගෙන තිබේ.
නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මියගේ උපදෙස් මත නාගරික නිලධාරීන් සහ පොලිසිය එක්ව මෙම වැටලීම සිදු කරනු ලැබුවා.
ඒ අනුව මහනුවර දළදා වීදිය, වැව රවුම පදික වේදිකාව මෙන්ම පේරාදෙණිය සහ කටුගස්තොට නගරවලද අනවසර වෙළඳුන් ඉවත් කෙරුණා.
මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක මහතා ප්‍රකාශ කළේ, වත්මන් ජාතික ජන බලවේගය පාලනය යටතේ මහජන ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බවයි.
මීට පෙර විවිධ දේශපාලන මැදිහත්වීම් මත මෙම අනවසර වෙළඳාම් සඳහා ඉඩ ලැබී තිබූ බවත්, පසුගිය පාලන සමයන්හි මේවා ඉවත් කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
වසර 25ක පමණ කාලයක් මෙහි නිරතව සිටි පදික වෙළඳුන් වෙනුවෙන් නගර සභාව විසින් විකල්ප ස්ථාන වෙන්කර දී තිබෙනවා.
කෙසේ වෙතත්, තමන්ට ලබාදුන් නව වෙළඳ ස්ථාන ජනාකීර්ණ නොවන ප්‍රදේශවල පිහිටා ඇති බැවින් එහි වෙළඳාම් කිරීම දුෂ්කර බව පදික වෙළඳුන් පෙන්වා දෙයි.

