දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදන සිදුකරන දේශීය ව්‍යවසායකයින් බලගැන්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන “Made in Sri Lanka” ලාංඡන ප්‍රදානය සහ ලංකාවේ තෘතීය සහ වෘත්තිය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළින් ව්‍යවසායකයින් බිහිකිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන “Brain into Business” වැඩසටහනේ මූල්‍ය ප්‍රදානය කිරීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රදානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ(19) පැවැත්විනි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් මෙම ජාතික වැඩසටහන් දෙක වාර්ෂිකව සංවිධාන කරනු ලබයි.
මෙම වර්ෂයේදී “Brain into Business” වැඩසටහන හරහා තෝරාගත් විශ්වවිද්‍යාල සිසුන් 37දෙනෙක් සහ වෘත්තීය පුහුණු අභ්‍යාසලාභීන් 10දෙනෙක් සඳහා ව්‍යාපාරික මූල්‍යධාර ලබාදුන් අතර ප්‍රමිතිගත නිෂ්පාදන බිහි කරනු ලබන තෝරාගත් දේශීය ව්‍යවසායකයින් 37දෙනෙකුගේ නිෂ්පාදන සදහා “Made in Sri Lanka” ලාංඡනය පිරිනමන ලදී.
දැනුම, කුසලතා සහ ආකල්පයන් හරහා නව ව්‍යවසායන් නිර්මාණය කර උගත් තරුණ ප්‍රජාව ව්‍යාපාරික ලෝකය වෙත ප්‍රවේශ කරවීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල සමඟ ඒකාබද්ධ වෙමින් “Brain into Business” වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මෙවර රාජ්‍ය විශ්වවිද්‍යාල 8ක් සහ වෘත්තීය පුහුණු සහ තාක්ෂණ ආයතන 2ක් සමග මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර එහිදී ලැබූණු ව්‍යාපාරික යෝජනා 128ක් අතරින් විශ්වවිද්‍යාල සිසුන්ගේ ව්‍යාපාරික යෝජනා 37 ක් සහ වෘත්තීය පුහුණු සහ තාක්ෂණ අභ්‍යාසලාභීන් 10 දෙනෙකුගේ ව්‍යාපාරික යෝජනා 10 ක් සදහා ව්‍යාපාරික මූල්‍ය ප්‍රදානය සිදුකරන ලදී.
“Made in Sri Lanka” වැඩසටහන යටතේ සුදුසුකම් සපුරාලන ව්‍යවසායන්ගේ නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ (NIPO) නිල වශයෙන් ලියාපදිංචි කර ඇති “Made in Sri Lanka” ලාංඡන ප්‍රදානය කරනු ලබන අතර, එය දේශීයව නිෂ්පාදිත නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ දේශීයත්වය පිළිබඳ විශ්වාසනීය සලකුණක් ලෙස ක්‍රියා කරයි. “Made in Sri Lanka” ලාංඡන දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට ව්‍යවසායකයින්ට අවස්ථාව උදාකරන අතර පාරිභෝගික විශ්වාසය සහ තරඟකාරිත්වය වැඩි කිරීමටද දායක වේ.

