Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ත්‍රස්‍තවාදයට එරෙහි නව පනතට ජනතාවට අදහස් දැක්විමට අවස්ථාවක්

ත්‍රස්‍තවාදයට එරෙහි නව පනතට ජනතාවටත් අදහස් දෙන්න අවස්ථාවක්

ත්‍රස්‍තවාදයට එරෙහි නව පනතට ජනතාවටත් අදහස් දෙන්න අවස්ථාවක්

ත්‍රස්‍තවාදයට එරෙහි නව පනත පිළිබඳව ජනතාවගේ මත විමසුමක් සිදු කරන අතර එළැඹෙන පෙබරවාරි 28 දක්වා කාලය තුළ ඒ සඳහා අදහස් දැක්වීම සිදු කළ හැකි බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

නව රජය බලයට පත් වීමත් සමග දෙන ලද ප්‍රධාන පොරොන්දුවක් වූයේ පැරණි ත්‍රස්‍තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර මානව හිමිකම් ආරක්ෂා වන පරිදි පුද්ගලයින්ගේ භාෂණයේ නිදහස ආරක්ෂා වන පරිදි නව ත්‍රස්‍තවාදයට එරෙහි පනතක් සැකසීම වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න ප්‍රමුඛ විද්වතුන් 17 දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පරණ නීති ඉවත් කර අලුතින්ම ත්‍රස්‍තවාදයට එරෙහි පනතක් ගෙන එනු ලැබූ බවත් එය මේ වන විට භාෂා 3න්ම සකස් කර ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එම කෙටුම්පත් තුන අධිකරණ අමාත්‍යංශයේ වෙබ් අඩවියට උඩු ගත කර ඇති අතර මෙම පනත පාර්ලිමේන්තුවට හෝ කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම මහජනතාවගෙන් අදහස් විමසීම සඳහා කාලය ලබා දී ඇති බවය.

ඒ අනුව මෙම නව නීතිය භාෂා තුනෙන්ම නිල වෙබ් අඩවියේ පල කර ඇති අතර මේ පිළිබඳව ජනතාවගේ අදහස් ගැනීමට, සංශෝධන කිරීමට අවශ්‍ය නම් ඒ කුමක් ද යන්න පිළිබඳව දැනුම්දීමට මේ කාලය විවෘතව පවතියි.

හර්ෂණ නානායක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යනය කර අලුත් අදහස් ලබා දී රජයට සහාය වන ලෙසය.

එමෙන විවිධ පුද්ගලයින්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති නායකයින් මේ වන විටත් අදහස් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව සාධනීය ලෙස සලකා බලන බවද මෙහිදී ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පෙබරවාරි 28 පසුව නීතිඥ රියන්සි අර්සකුලරත්න ප්‍රමුඛ කණ්ඩායම මගින්ම ඒ යෝජනා සලකා බලමින් ඉතා සාධනීයව මෙම පනත වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙසේ වෙබ් අඩවියේ පල කර ඇත්තේ අවසන් වූ පනතක් නොව ජනතාවගේ අදහස් ලබා ගැනීමට යොදා ගත් කෙටුම්පතක් පමණක් වන බවය.

ඒ අනුව ඕනෑම අයෙකුට මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය හැකි බවත් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මේ සම්බන්ධයෙන් වූ සාධනීය අදහස්, විවේචන ලබා දෙන ලෙසත් ඒවා අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වෙත ඉදිරිපත් කරන ලෙසත් අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Exit mobile version