පසුගිය දින කිහිපය තුළ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වී වගාව ඇතුළු අනෙකුත් වගාවන්ට සිදුවූ හානිය පිළිබඳව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අවධානයෙන් යුතුව කටයුතු කරන බව එම මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ 2025/26 මහ කන්නය මේ වන විට ආරම්භ වී ඇති බැවින් අදාළ වී වගාව සඳහා බිම් සැකසීම් ආරම්භ කර ඇති බවත් එහි ආරම්භක අවධියේ පැවැත්ම හේතුවෙන් වී වගා භූමි සුරක්ෂිතව පවතින අතර හානි තත්ත්වයන් මේ දක්වා වාර්තා වී නොමැති බවය.
නොමිලේ රක්ෂණය යටතේ ආවරණය ලබන අනිකුත් භෝග වන බඩ ඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන වගාවන්ට සිදුවූ හානිය පිළිබඳව දිස්ත්‍රික් භාර නිලධාරීන් ඇස්තමේන්තුගත කරන ලද නමුත් මේ වන විටත් එම වගාවන්ට සිදුවූ හානිය පිළිබඳව නිශ්චිතව වාර්තා වී නොමැති බවය.
ඒ අනුව තවදුරටත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරීන් ගොවීන් හා සම්බන්ධ වෙමින් වගාවන්ට සිදුවූ හානි පිළිබඳ තොරතුරු ලබාගෙන සහන සැලසීමට අදාළ වැඩසටහන් සකස් කරමින් පවතින බවත් එම මණ්ඩලය සඳහන් කළේය.
විශේෂයෙන් වී වගාව සඳහා හානි සිදුවූ විට රජය විසින් හෙක්ටයාරයකට රුපියල් 100,000 බැගින් අක්කර 05ක උපරිමය දක්වා වන්දි ගෙවීම සිදුකරන අතර බඩ ඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, මිරිස් සහ සෝයා යන භෝග සඳහා අක්කර 2.5ක් දක්වා රජය විසින් නොමිලේ වගා හානි වන්දි ගෙවීම සිදුකරන අතර මීට අමතරව අනෙකුත් භෝග සඳහා සිදුවන හානි සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් රක්ෂන ආවරණ ලබා ඇති ගොවීන්ට එම වගාවන්ට සිදුවන හානි සඳහාද වන්දි ගෙවීම් සිදුකරන බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

