දකුණු කොරියාවේ රැකියා සදහා අවශ්‍ය භාෂා ප්‍රවීණතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානය (Korean Language Examination Center Ubiquitous-based Test (UBT)(22) දින විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්, 553/1, නව නුවර පාර, තලාහේන යන ස්ථානයේදී විවෘත කර තිබෙනවා.
කොරියානු භාෂා පරීක්ෂණ කටයුතු ටැබ් භාවිතා කරමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කොරියානු රජයේ මානව සම්පත් සංවර්ධන ආයතනය තීරණය කිරීමත් සමඟ එම ආයතනයේ ඉල්ලීම මත 2025 වර්ෂයේ සිට පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා වැඩි පහසුකම් ඇති, වරකට රැකියා අපේක්ෂකයින් වැඩි ප්‍රමාණයක් සඳහා විභාග පැවැත්වීමටයි මෙම නව මධ්‍යස්ථානය ආරම්භ කර තිබෙන්නේ.
පරීක්ෂණය සඳහා අවශ්‍ය ටැබ් පහසුකම් කොරියානු රජය විසින් ලබා දී ඇති අතර නව ගොඩනැඟිල්ලේ පරීක්ෂණ කටයුතු සිදු කිරීමේදී එක් සැසියක් සඳහා රැකියා අපේක්ෂකයින් 100 දෙනෙකුට පෙනී සිටීමට හැකි අතර දිනකට රැකියා අපේක්ෂකයින් 400 ක ප්‍රමාණයකට විභාගය සඳහා පෙනී සිටීමට හැකි බව සඳහන් කරනවා.
E 9 වීසා කාණ්ඩය යටතේ කොරියානු රාජ්‍යයේ රැකියා ලබා දීම සඳහා කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර 2004 වර්ෂයේදී අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම අනුව කොරියානු රැකියා වැඩසටහන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබනවා.
2025 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණය සඳහා රැකියා අපේක්ෂකයින් 36,745ක ප්‍රමාණයක් පෙනී සිටීමට නියමිත අතර එම විභාගය 2025.10.23 වන දින එනම් අද දින සිට 2026 මාර්තු මස දක්වා මෙම නව මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිතයි.