රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයෙ (26) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඊයේ (26) උදෑසන 08.50ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන්සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 06ක් තුළ, විදේශීය නිෂ්පාදිත ”ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 120,000ක් අඩංගු දුම්වැටි කාටූන් 600ක් සගවා ගෙන තිබුණි.
රේගු නිලධාරීන් විසින් මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.