Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය අහෝසියි

පියල් මනම්පේරි අත්අඩංගුවට - සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

පියල් මනම්පේරි අත්අඩංගුවට - සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඉකුත් සිකුරාදා දින (05) සිදුකළ මෙහෙයුමකදී මෙම රසායනික ද්‍රව්‍ය සොයාගනු ලැබීය.

මේ අතර පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරි නමැත්තාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට වහාම ක්‍රියාත්මක වනපරිදි පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන්නේ,

“අප පක්ෂයේ සාමාජිකයකුව සිටි අඟුණකොළපැලැස්ස තලාව පදිංචිව සිටි සම්පත් මනම්පේරි යන පුද්ගලයාට එරෙහිව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තබා ගැනීමක් සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත් වී ඇත. අප පක්ෂය කිසිවිටෙකත් මෙවැනි චෝදනාවන්ට පත්වන්නන්ට කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වනපරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන ලදී.”

“එසේ වුවද ඔහුට එරෙහිව නගා ඇති චෝදනාව ඉතා බරපතළ ගණයේ චෝදනාවක් වන අතර මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාවට අදාළ පරීක්ෂණ ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සත්‍ය තත්ත්වය හෙළිදරව් කිරීමට කටයුතු කරනු ඇතැයි පක්ෂයක් ලෙස අපි බලාපොරොත්තු වෙමු.”

බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම රසායනික ද්‍රව්‍ය සොයාගත් අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද ඔහු පවසා තිබේ.

පොලිසිය පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිට ඇති බවය.

Exit mobile version