Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේ ෂැංහයි හිදී

2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේ ෂැංහයි හිදී ආරම්භ විය

2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේ ෂැංහයි හිදී ආරම්භ විය

2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේ ෂැංහයි හිදී අද (26) ආරම්භ විය.

“බුද්ධිමත් යුගයේ ගෝලීය සහයෝගීතාවය” යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වේ.

“ශාස්ත්‍රීය ඉදිරි ගමන, මෘදු හා දෘඩ ඒකාබද්ධ කිරීම සහ ගෝලීය පාලනය” යන මූලික කරුණු තුන කෙරෙහි මෙවර සමුළුවේ දී මුල්වරට අවධානය යොමු කරනු ලැබේ.

මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශන භූමියද ප්‍රථමවරට වර්ග මීටර් 70,000 ඉක්මවා ගොස් ඇති අතර, සමාගම් 800කට වැඩි සංඛ්‍යාවක් සිය නිෂ්පාදන ප්‍රදර්ශනයට එක් කර ඇත.

අති නවීන නිෂ්පාදන 3,000කට අධික සංඛ්‍යාවක් මෙන්ම ගෝලීයව සහ දේශීයව මුල්වරට ඉදිරිපත් කෙරෙන නව නිෂ්පාදන 100කට අධික සංඛ්‍යාවක්ද එහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිත වේ.

ගෝලීය කෘත්‍රිම බුද්ධියේ වර්ධනය සහ ප්‍රවර්ධනය අරමුණින් පැවැත්වෙන මෙම සමුළුව සඳහා 30කට වැඩි රටවල් සහ කලාපවලින් ආරාධිතයන් 1200කට වැඩි පිරිසක් මේ සඳහා සහභාගී වේ.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා මෙවර සමුළුවේ සමාරම්භක උත්සවයට එක් වූ අතර, එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ වර්තමානයේ කෘත්‍රිම ‍බුද්ධි ක්ෂේත්‍රයේ සාමූහික නවෝත්පාදන ශක්‍යතාව ඉස්මතු වන අතර එය කෘත්‍රිම බුද්ධිය වඩාත් කාර්යක්ෂම මෙන්ම සුහුරු දිශානතියක් ඔස්සේ ප්‍රවර්ධනය කරන බවය.

එමෙන්ම ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කිරීම පිළිබඳ යෝජනාවක්ද මෙහිදී චීන රජය ඉදිරිපත් කර ඇති අතර, කෘත්‍රිම බුද්ධි ගෝලීය පාලනය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්මද එහිදී නිකුත් කෙරිණ.

මෙම වසරේ පළමු කාර්තුවේදී ෂැංහයි හි AI කර්මාන්ත නිමැවුම යුවාන් බිලියන 118 (ආසන්න වශයෙන් ඩොලර් බිලියන 16.5) ඉක්මවා ගිය අතර එය වසරින් වසර සියයට 29ක වැඩිවීමක් සහ ලාභයේ සියයට 65ක වැඩිවීමක් සනිටුහන් කළේය.

Exit mobile version