Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රු. මිලියනයක් පමණ වටිනා සුවඳ විලවුන් විනාශ කිරීමට නියෝග

රු. මිලියනයක් පමණ වටිනා සුවඳ විලවුන් විනාශ කිරීමට නියෝග

රු. මිලියනයක් පමණ වටිනා සුවඳ විලවුන් විනාශ කිරීමට නියෝග

අනයනකරුවෙකුගේ තොරතුරු සඳහන් නොවන මෙන්ම සැපයුම්කරුවෙකුගේ කුවිතාන්සියක් හෝ බිල්පතක් නොමැතිව වෙළෙදපොළට නිකුත් කිරීම සදහා වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක් තුල ගබඩාකර තිබූ සුවඳ විලවුන් සහ ශරීර ආලේපන තොගයක් පසුගිය ජුනි 28වැනිදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරන ලද වැටලීමකදී සොයාගෙන තිබුණි.

අදාළ වැටලීමේදී එම නිවාස තුල රහසිගතව ගබඩාකර තිබූ වෙළෙඳනාම 35 කට අයත් විදේශ රටවලින් අනයනයකරන ලද යයි ප්‍රකාශ කරන ලද සමෙහි ආලේපකරන ක්‍රීම් වර්ග ඇතුළු සුවඳ විලවුන් අසුරන 4079ක් නිලධාරීන් භාරයට ගනු ලැබීය. එම වැටලීම සිදුකරන අවස්ථාවේදී අදාළ භාණ්ඩ ආනයනික බව තහවරුකිරීමට හෝ එම භාණ්ඩ තමාට ලැබුණු ආකාරය තහවරු කිරීමට කිසිඳු ලේඛනයක් ඉදිරිපත් කිරීමට එම ව්‍යාපාරිකයා අපොහොසත් වී ඇත.

අදාළ වැටලීම සම්බන්ධව ඊයේ (08) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරන ලද අතර එහිදී වරද පිළිගත් ව්‍යාපාරිකයාට රු.20,000ක දඩ මුදලක් නියම කර රුපියල් මිලියනයක පමණ වෙළෙඳපල වටිනාමක් සහිත අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කර විනාශ කිරීමට ගරු අධිකරණය නියෝග කරන ලදි.

විදේශීය වෙළෙඳනාම ව්‍යාජ ලෙස ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාව තුල සකස්කර වෙළෙදපොළට නිකුත් කිරීම් සම්බන්ධව මෙන්ම ඒවා වෙළෙදපොළහි අලෙවි කිරීම සහ අලෙවියට ඉදිරිපත් කිරීම වැලැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙවැනි වැටලීම් ක්‍රියාත්මක කරනු ලබයි.

පාරිභෝගිකයන්ට හානිදායක විය හැකි එවැනි භාණ්ඩ වෙළෙදපොළහි අලෙවි කිරීම වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.එමෙන්ම, ආනයනකරුවෙකුගේ හෝ නිෂ්පාදකයකුගේ තොරතුරු සඳහන් කර නොමැති භාණ්ඩ සැපයුම්කරුවන්ගෙන් මිලදී නොගන්නා ලෙසත්, එවැනි භාණ්ඩ විකිණීමට ඉදිරිපත් නොකරන ලෙසත් සිල්ලර වෙළෙඳුන් දැනුවත් කරන අතර එවැනි භාණ්ඩ මිලදීගැනීමෙන් වළකින ලෙස පාරිභෝගිකයන්ගෙන් අධිකාරිය ඉල්ලා සිටියි.

Exit mobile version