Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මහින්දානන්දට වරෙන්තු; ඔහු සොයා පොලිස් කණ්ඩායම්

මහින්දානන්දට වරෙන්තු; ඔහු සොයා පොලිස් කණ්ඩායම්

මහින්දානන්දට වරෙන්තු; ඔහු සොයා පොලිස් කණ්ඩායම්

චීන පොහොර ගෙන්වීමේ සිදුවීමට අදාල විමර්ශනයට අදාලව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන තිබෙනවා.

මේ වන විට ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා රාජගිරියේ ඔහු පදිංචිව සිටි ස්ථානයේ සොයා බලා ඇති නමුත්, ඔහු එම ස්ථානයේ නොසිටීම නිසා ඔහු සොයා පොලිස් කණ්ඩායම් යොදා ඇතැයි පොලිස් ආරංචිමාර්ග පැවසුවා.

මැයි 16 වැනිදා අදාල වරෙන්තුව ලබාගෙන තිබෙනවා.

මහින්දානන්ද අලුත්ගමගේ මෙම විමර්ශනයට අදාලව මැයි 14 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබුණා. ඔහු අල්ලස් කොමිසමට ඉදිරිපත් නොවී, එදින ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස හරහා අපේක්ෂිත ඇප අයදුම්පතක් කොළඹ මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි වෙත ඉදිරිපත් කර තිබුණා. එය මැයි 16 වැනිදා කැඳවන ලෙස ඉල්ලා සිටියත්, කැඳවීමට තීන්දු කර ඇත්තේ මැයි 19 වැනිදායි.

කෙසේ වෙතත් ඇප පනත අනුව එය කැඳවීමට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතින අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවසර ඉල්ලා තිබුණා.

මෙම විමර්ශනයට අදාලව මීට පෙර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිළ අත්අඩංගුවට ගනු ලැබුවා. අප්‍රේල් 28 වැනිදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබූ ඔහු මේ වන විට ඇප ලබා සිටිනවා.

2021/ 2022 මහ කන්නයේ හෙක්ටයාර් 500,000කට අධික කාබනික පොහොර චීනයේ කින්ඩාවේ සීවින් බයෝටෙක් නම් වූ සමාගමෙන් ආනයනය කර තිබුණේ 2021 ජුනි 01 දිනැති කැබිනට් මණ්ඩල තීන්දුව මතයි. සීයට 10ක් නයිට්‍රජන් මුහුදු පැලෑටි සහිත කාබනික කැටිති පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් අමෙරිකන් ඩොලර් 42,816,000කට ආනයනය කිරීමට තීන්දු කර තිබුණා.

මේ පොහොර රැගත් හිපෝ ස්පිරිට් නම් වූ නෞකාව ලංකාවට පැමිණ දින 70ක් පුරා ශ්‍රී ලංකා මුහුදේ රැඳී සිටියා. එය දෙසැම්බර් 04 වැනිදා සිංගප්පූරුව බලා පිටත් වුණේ, ශ්‍රී ලංකාව නැව බාර නොගත් තත්වය හමුවේ.

පොහොර නැව ප්‍රතික්ෂේප කිරීමට හේතුව වී තිබුණේ, එම නැවේ තිබුණු පොහොරවල අර්විනියා සහ බැසිලියස් නම් වූ ගණයන්ට අයත් ක්ෂුද්‍රජීවීන් සිටි නිසා. මේ බව තහවුරු වුණේ 2021 අගෝස්තු 31 වැනිදා පොහොර සාම්පල් දෙකක් ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් ශාක නිරෝධායන සේවයට ලබාදීමෙන් පසු සිදුකළ පර්යේෂණ මත. කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ 2021 සැප්තැම්බර් 17 වැනිදා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නම කෙරුණු ස්වාධීන පරීක්ෂණාගාරයක සිදුකළ නිරීක්ෂණයන්ට අනුව පොහොරවල ක්ෂුද්‍රජීවීන් නැති බව. එවකට රජය විසින්, ශාක නිරෝධායන සේවය මඟහරිමින් එම පරීක්ෂණය කර තිබුණා. එය මත පදම්ව ඔහු ප්‍රකාශ කර තිබුණේ ශාක නිරෝධායන සේවය විසින් පර්යේෂණයට ලක් කළ පොහොර සාම්පලය ප්ලාස්ටික් බෑග් එකකින් ගෙන්වා ඇති බවත්, පොහොරවලට ඉන්ජෙක්ෂන් කටුවකින් ඇන්නොත් සාම්පල් සම්පූරණයෙන් වෙනස් වෙන බවත්. කෙසේ වෙතත්, පසුව රජය මෙම පොහොර ප්‍රමිතියෙන් තොර බව පිළිගත්තා. ඒ අනුව, පොහොර නැව නැවත හරවා යැවීමට කටයුතු කළා.

Exit mobile version