Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හර්ෂාන් ද සිල්වාට ඇප ලැබුනද බන්ධනාගාර ගත කෙරේ..

හර්ෂාන් ද සිල්වාට ඇප ලැබුනත් බන්ධනාගාර ගත කරයි

හර්ෂාන් ද සිල්වාට ඇප ලැබුනත් බන්ධනාගාර ගත කරයි

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දින(15) නියම කළා.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (15) දහවල් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කර කෙරුනා. ඒ අනුව, සැකකරු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා. ඉන් අනතුරුව පැමිණිල්ල ජූනි මස 24 වනදා කැඳවීමටද නියම කෙරුණා.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇප මත මුදාහරින ලද ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර ගතකර තිබෙනවා.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින්, 2014 වසරේ කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා නුගේගොඩ රත්තනපිටියේ සිට බෙල්ලන්විල දක්වා ක්‍රියාත්මක කරන ලද වේරැස් ගඟ ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා උත්සවයක් පවත්වා ඇති බවයි.

එම විවෘත කිරීමේ උත්සවය මෙහෙයවීමේ කටයුතු පුද්ගලික ආයතනයකට සැකකාර හිටපු සභාපතිවරයා විසින් භාරදී ඇති බව සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් එහිදී රජයේ පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර නොමැති බවත් සඳහන් කෙරුණා.

ඊට අමතරව අදාළ ආයතනයට වාසියක් සලසා දීමේ අරමුණින් සැකකරු මෙම කාර්යය සිදුකර ඇති බවත් ඒ සඳහා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොතිබූ බවත් අල්ලස් කොමිසම සඳහන් කළා.

මේ හරහා රජයට රුපියල් ලක්ෂ 276ක පාඩුවක් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවත් අල්ලස් කොමිසම සඳහන් කර සිටියා.

මෙහිදී පැමිණිල්ල සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකාබැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළා.

Exit mobile version